දිනය ඉකුත් මැයි මස 25 වැනි බ්‍රහස්පතින්දා ය. ලයිබීරියානු ධජය යටතේ, කේරළයේ විලිංයම් වරායේ සිට කෝචි දක්වා අරාබි මුහුදේ කේරළයට ආසන්නයෙන් යාත්‍රා කරමින් තිබූ MSC ELSA 3 බහාලුම් ප්‍රවාහන නෞකාව පෙරළිණ. වහා ක්‍රියාත්මක වූ ඉන්දීය බලධාරීහු නෞකාවේ සිටි 24 දෙනකුගෙන් යුතු වූ කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව ගලවාගැනීමට සමත් වූහ. කෙසේ නමුත් නෞකාව සතු වූ බහාලුම් 640න් සමහරක් මුහුද සන්තක වීම ඒ වන විටත් සිදු වී තිබිණි. මේ වන විට නැව මුළුමනින්ම සාගරයේ ගිලී ගොස් තිබේ.
ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් සඳහන් කළේ අනතුරට ලක්වන විට නෞකාව සතුව තිබූ බහාලුම් 12ක ම කැල්සියම් කාබයිඩ් අඩංගු වූ බවයි. ඊට අමතරව නැව සතුව තිබූ ටැංකිවල ඩීසල් මෙට්‍රික් ටොන් 84.44ක් සහ දැවිතෙල් මෙට්‍රික් ටොන් 367.1ක් අන්තර්ගතව තිබී ඇත.
ශ්‍රී ලංකා මුහුද මුහුණ දුන් දැවැන්තම සාගර ඛේදවාචකය ලෙස සැලකෙන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා සිදු වූ හානියයි. MSC ELSA 3 නිසා දකුණු ඉන්දියාව ද පත්ව ඇත්තේ එවන් තත්ත්වයකට ය. පෙරළී යන විට නෞකාව පිහිටියේ කෝචි වෙරළේ සිට නාවික සැතපුම් 38ක් පමණ දුරිනි. අන්තරායකර ද්‍රව්‍ය රැගත් බහාලුම් වෙරළ වෙත ඇදී යන බව නිරීක්ෂණය වූ විට ඒ ප්‍රදේශය අවට ජනතාව ඉවත් කිරීමට දකුණු ඉන්දීය බලධාරීහු පියවර ගත්හ. ඉන්ධන කාන්දු වීම නිසා ඇති වූ තෙල් තට්ටුව ගොඩබිම වෙත සමීප විය හැකි බැවින් ඒ බව දන්වා අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ද කේරල ප්‍රධාන අමාත්‍ය කාර්යාලය කටයුතු කර තිබිණ. වෙරළට ළඟා වන නොදන්නා බඩු භාණ්ඩ ස්පර්ශ කිරීමට යෑමෙන් වළකින ලෙස බලධාරීහු ප්‍රදේශවාසීන්ට උපදෙස් දෙති.
කෙසේ නමුත් හානිය ඉන්දීය මුහුදු සීමාවෙන් කෙළවර වූ බවක් පෙනෙන්නට නැත. නෞකාවෙන් වැටුණු බහාලුම්වලින් මුහුදට එක් වූ ප්ලාස්ටික් පෙලට්ස් මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ගසාගෙන එමින් තිබේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා සඳහන් කරන පරිදි යාපනය, ඩෙල්ෆ්, නාගදීපය සහ මන්නාරම ආශ්‍රිතව මෙන්ම පුත්තලම සහ හලාවත වෙරළ තීරයන්ට ද මින් බලපෑම් එල්ල වී තිබේ. මෙම ප්‍රදේශවල වෙරළේ තැනින් තැන සුදු පැහැයෙන් දිස් වන ප්ලාස්ටික් පෙලට්ස් ගොඩගසා ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකි ය. මේවා විෂ්කම්භයෙන් මිලිමීටර් 5ට අඩු ය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලී යෑමෙන් පසු ද මෙරට වෙරළ කලාපවල මේ තත්ත්වය බහුල ව දක්නට ලැබිණ. ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනයේ දී අමුද්‍රව්‍ය ලෙස යොදාගැනෙන මෙවැනි පැලට්ස් ගබඩාකර තිබූ බහාලුම් ගණනාවක් MSC ELSA 3 නෞකාවේ තිබූ බවට කරුණු අනාවරණ විය.
ඉන්දීය බලධාරීන් කේරළයේ ධීවර ප්‍රජාවට දැනුම් දී ඇත්තේ අනතුර සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක අරීය වපසරියක් තුළ මසුන් ඇල්ලීම සිදු නොකරන ලෙසට ය. කෙසේ නමුත් ඉන් මෙරට ධීවර ප්‍රජාවට බලපෑමක් සිදු නොවන බව අප කළ විමසීමක දී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීයේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා සඳහන් කළේ ය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බහාලුම්වලින් කාන්දු වූ රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට මුසු වීමත් සමග තනුක ස්වභාවයක් ගන්නා බැවින් මෙතරම් දුරකට පැතිර එන විට ඇති වන බලපෑම අවම වන බව ය. අනෙකුත් එනිසා මසුන් අල්ලන ධීවර ප්‍රජාව සහ ඒවා පරිභෝජනය කරන පාරිභෝගිකයන් අනියත බියක් ඇතිකරගත යුතු නැති බව පැහැදිලි ය.

ආරක්ෂණ අධිකාරීයේ
සාමාන්‍යාධිකාරී
ජගත් ගුණසේකර
කෙසේ නමුත් ඉන් සාගර ජෛව පද්ධතියට සිදු වන බලපෑම ද සුළුපටුව තැකිය නො හැකි ය. මේවායින් පරිසරයට සහ ජීවීන්ට සිදු වන බලපෑම පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුව, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සහ ධීවර දෙපාර්තමේන්තුව එක්ව අධ්‍යයනය කරමින් සිටින බව ජගත් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
නැව අනතුරට ලක්ව ගිලී ගියේ ඉකුත් මස 25 වැනි දා වුවත්, ප්ලාස්ටික් පැලට්ස් මෙරට වෙරළ තීරයෙන් මුල් වරට වාර්තා වූයේ ඉකුත් 10 වැනි දා ය. එදින ඩෙල්ෆ් දූපතෙන් සහ නාගදීපයෙන් වාර්තා වූ ප්ලාස්ටික් පැලට්ස් 11 දා මන්නාරමටත්, හලාවතටත් පැමිණ තිබිණ. කාලගුණ දෙපාර්තමේන්තුවෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට දැනුම් දී ඇති තොරතුරුවලට අනුව කාලගුණයේ සහ මුහුදු දියවැල්වල හැසිරීම මත ඉදිරියේ දී මෙකී ප්ලාස්ටික් පෙලට්ස් තව තවත් උතුරු, උතුරු මැද පළාත්වල වෙරළ තීර වෙත ගොඩගැසීමට හැකියාව ඇති අතර බස්නාහිර පළාතේ වෙරළ තීරය මතට ද ගොඩගැසීමේ හැකියාවක් තිබෙන බව බලධාරීහු පවසති.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මෙහෙයවීම මත ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහ වෙරළාරක්ෂක භටයන්ගේ සහායෙන් මේ වන විට වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ කටයුතු වඩාත් පුළුල් ලෙස ආරම්භ වී තිබේ. ඒ අනුව ඉකුත් බ්‍රහස්පතින්දා (13) 200 දෙනකුගේ සහභාගිත්වයෙන් මන්නාරම් දිස්ත්‍රික්කයේ වෙරළ ස්ථාන හයක පිරිසිදු කිරීම් සිදුවිය. කෙසේ නමුත් මෙය ඉතා ඉක්මනින් අවසන් කළ හැකි කටයුත්තක් නොවන බව සිහි තබාගත යුතු ය. මුහුදේ හැසිරීම මත ඉදිරියේ දී මුහුදුබත් වූ නෞකාවේ සිට පැමිණෙන මෙම ප්ලාස්ටික් පැලට්ස් වරින්වර මෙරට මුහුදු වෙරළ මත තැන්පත් වනු ඇති බව අපේක්ෂා කෙරන බැවිනි. එබැවින් මෙය දීර්ඝකාලීන වැඩපිළිවෙළක ආරම්භය පමණි.
ජගත් ගුණසේකර මහතා පැවසුවේ ප්ලාස්ටික් පැලට් ඉවත් කර වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ඉදිරියේ දී අදාළ ප්‍රදේශයන්හි වෙසෙන අයගේ සහයෝගය බලාපොරොත්තු වන බවයි. “ඉක්මනින් කැඳවාගත හැකි වූ නිසා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීමට අපට හැකියාව ලැබුණා. නමුත් මේ ක්‍රියාවලිය දීර්ඝ කාලීනව සිදු කරගෙන යන විට වෙරළ තීරය අවට ප්‍රදේශවල ජනතාවට යම් දෛනික දීමනාවක් ලබා දී සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වනවා.” සාමාන්‍යාධිකාරිවරයා ‘දිවයින’ට පැවසී ය. මෙතෙක් සම්බන්ධ වී නැතත්, මේ ව්‍යායාමය සඳහා සහාය වීමට ස්වේච්ඡා සංවිධානවලට ද අවස්ථාව ඇති බව අපි අවධාරණය කර සිටිමු.
මේ අතර කොළඹ වරායේ සිට මුම්බායි දක්වා යාත්‍රා කරමින් සිටිය දී දකුණු ඉන්දීය මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ MV Wan Hai 503 නෞකාව සම්බන්ධයෙන් ද බලධාරීන්ගේ ඇස යොමුව පවතී. නෞකාවෙන් සිදු වන තෙල් කාන්දුවක් සහ සුන්බුන් ඇතිවීමේ අවදානමක් හේතුවෙන් ඉන්දීය ජාතික සාගර තොරතුරු සේවා මධ්‍යස්ථානය කේරළ වෙරළ තීරයට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. සිදුවිය හැකි තවත් සාගර පරිහානියකට තිත තැබීමේ අදහසින් එය ඈත මුහුද වෙත ඇදගෙන යෑමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබේ.

සත්‍ය හෙට්ටිආරච්චි