Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දවසට ව්‍යාපාර 120ක් වෙන්දේසියට…පරාටේ නීතිය යළිත්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දවසට ව්‍යාපාර 120ක් වෙන්දේසියට…පරාටේ නීතිය යළිත්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
විශේෂාංග

දවසට ව්‍යාපාර 120ක් වෙන්දේසියට…පරාටේ නීතිය යළිත්

July 6, 2025
318 Views

ව්‍යාපාරිකයන් 21,000කගේ දේපළ අනතුරේ…

රටත් ව්‍යාපාරික ප්‍රජාවත් මූල්‍ය ක්‍ෂේත්‍රයත් ආරක්‍ෂා කරගැනීම බැංකුවල වගකීම…

ආර්ථික අර්බුද තිබුණට ලංකාවේ කිසිම බැංකුවක් පාඩු ලැබුවේ නෑ…

ණය ගෙවාගෙන යන්න සහන කාලයක් දෙන්න…

බැංකුවකින් ණය අරගෙන නොගෙවා මගහැරීම වංචාවකි…

පරාටේ නීතියේ රඟේට ‘පරාට රොටි’ කෑමත් නතර කළ පිරිසක් අපට මුණගැසිණි. ඔවුන් කියන කතා ඇසෙන විට මම වික්ෂිප්ත විමි. එහෙත් ගිවිසුම් ප්‍රකාරව ණය මුදල නිසියාකාරව ගෙවාගෙන යෑම තුළ ගැටලු මතුනොවන බව ද සැබෑ ය. මිලියන 50ට වැඩි ණය ලබාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විසිඑක් දහසක් පමණ පඹගාලක පැටලී සිටිනුයේ ණය ගෙවාගෙන යෑම අක්‍රියවීම නිසා බැංකු විසින් පරාටේ නීතිය ක්‍රියාත්මක කරයි දෝ යන බියෙනි. ණය ගෙවීම් අක්‍රිය වූ ව්‍යාපාරිකයන්ට ඇතැම් බැංකු විසින් මේ වන විටත් පරාටේ නීතිය ක්‍රියාත්මක කර ඇති නිසාය.

පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය, ආර්ථික අර්බුදයත් සමග රට අස්ථාවරවීමත් සමග මෙරට සියලු කර්මාන්ත හා ව්‍යාපාර කඩාවැටිණි. ජන ජීවිත අවුල් විය. සැපට ජීවත් වූ දරු පවුල් තුන්වේල කෑමට නොහැකි තරමට ආර්ථික අතින් හීන විය. මෙරට ‘බංකොලොත් රාජ්‍යයක්’ බවට පත් විය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මනාපාලනයෙන්, කඩාවැටුණු දේශයට යම් ජීවයක් ලැබිණි. එහෙත් කඩාවැටුණු සියලු ව්‍යාපාරවලට නැවත ජීවය නොලැබිණි. ඇතැම් ව්‍යාපාරිකයෝ අදටත් සෙමෙන් ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් සිටිති. ස්වශක්තියෙන් නැඟිටීමට වෙර දරන ව්‍යාපාරිකයන්ට ශක්තියක් වනවා වෙනුවට මෙරට බැංකු විසින් ‘පරාටේ නීතිය’ ක්‍රියාත්මක කරමින් ඔවුන්ගේ දේපළ අත්පත් කරගැනීමේ වෑයමක නිරතවීම ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වැනි ය.

කොරෝනා ව්‍යසනයට පෙර බැංකුවලින් ලබාගත් ණය ගෙවාගෙන යෑමේදී විවිධ ගැටලුවලට මුහුණ දී පරාටේ නීතියට යටත්ව දේපළ අත්පත් කරගැනීමේ අවදානමෙන් සලිත වී සිටින, පරාටේ නීතිය ක්‍රියාත්මක වී, දේපළ බැංකුවලට පවරාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ 21,000කට වැඩි සංඛ්‍යාවක් විවිධාකාරයෙන් සංවිධානගත වී, පැවැති රජයෙන් මෙන්ම පවතින රජයේ අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කරමින් ණය ගෙවීමට සහන කාලයක් ඉල්ලා සිටිති. ඔවුන්ට සහන ලබාදීම පවතින රජයේ ප්‍රධාන දේශපාලන පොරොන්දුවක් වී තිබුණ ද මාස හයක් පමණ විටින් විට වර්තමාන කර්මාන්ත ඇමැතිවරයා මුණගැසී සාකච්ඡා කළ ද ‘රස්තියාදුව’ විනා කිසිදු සහනයක් නොලැබුණු බව රුවන් රණවන අප සමග පැවසුවේ ය. කර්මාන්ත ඇමැතිවරයා පරාටේ නීතිය ගැන එක වචනයක් හෝ පාර්ලිමේන්තුවේ කතා නොකිරීම සම්බන්ධයෙන් දැඩි කම්පනයෙන් පසු වන බව ද හේ පැවසී ය. ඔහු නුවර ප්‍රදේශයේ තරුණ කර්මාන්තකරුවෙකි. කඩාවැටුණු ව්‍යාපාර ගොඩනැඟීමට වීර්ය දරන ඔහුට කතා කිරීමට ඉඩ හැර අප නිහඬ විය.

“ඒ කාලේ අපි බැංකුවලින් ණය අරගෙන තියෙන්නෙ වත්කම් උකසට තියලා ණය ගෙවාගෙන යන්න පුළුවන් නිසයි. බැංකුව අපිට ණය දීලා තියෙන්නෙ අය කරගන්න ආදායමක් තියෙන නිසයි. හිටි හැටියේ රට කඩාවැටිලා ආදායම් නැති වෙයි කියලා අපි හිතුවේ නෑ. ණය දුන්න බැංකු කළමනාකාරිත්වය හිතුවෙත් නෑ. ඒත් ණය ගෙවාගන්න බැරි වුණාම සම්පූර්ණ වරද අපි මත පටවල බැංකු, රජය නිදහස් වෙනවා. ආර්ථික අර්බුදයත් එක්ක ණය පොලියත් වැඩි කළා. 8% – 12% ගත්ත ණය පොලී 30% දක්වා වැඩි කළා. ණය වාරිකයත් වැඩි වුණා. ව්‍යාපාර කඩාවැටිලා, ආදායමක් නැතිව ඉහළ ගිය බැංකු වාරික ගෙවාගෙන යන්න බැරි වුණා. ණය ප්‍රතිව්‍යුහගත කරලා දෙන්න කියලා බැංකුවලට බෑගැපත් වුණා. ඒත් අපේ හඬට බැංකු සවන් දුන්නෙ නෑ. බැංකුවල තීරණය වුණේ පරාටේ නීතිය යටතේ අසරණ ණයකරුවන්ගේ දේපළ අත්පත් කරගැනීම. බැංකු පාඩු ලැබුවා නම් එහෙම කළාට ගැටලුවක් නෑ. පහුගිය කාලය තුළ මෙරට කිසිම බැංකුවක් පාඩු ලබල නෑ. දවසින්, දවස ආදායම් වැඩි කරගෙන තියෙනවා. එහෙම පසුබිමක ආර්ථික අර්බුදයෙන් හිර වෙලා යන්තමට හුස්ම ගන්න ගනුදෙනුකරුවන්ව බිත්තියට හේත්තු කරල දේපළ සින්න කරගැනීම වැරැදියි. ලෝකෙ කිසිම රටක නොකරන වැඩ. ව්‍යාපාරිකයන් අසරණ කරල රටක් හදන්න බෑ…” රුවන් රණවන තරමක් ආවේගශීලි විය. එහෙත් හීන් ස්වරයෙන් හඬ අවදි කළ උදේනි ශක්‍යමාලාගේ හඬ ඉස්සිණි. ප්‍රවාහන සේවා ව්‍යාපාරයක් සහ හාඩ්වේයාර් පවත්වාගෙන ගිය ඇය ආර්ථික අර්බුදයත් සමග බින්දුවටම වැටිණි. මේ වන විට ද පෙර තත්ත්වයට පැමිණ නැත. ලබාගත් බැංකු ණය ගෙවාගෙන යෑමට අපහසුවීමත් සමග දේපළ පවරාගන්නා බවට ණය ලබා දුන් බැංකු විසින් අනතුරු ඇඟවීම් ද කර තිබේ. පාසල් අධ්‍යාපනය ලබන පිරිමි දරුවන් දෙදෙනකු සමග පදිංචි නිවස අහිමි කරගැනීමට නොහැකි බව කඳුළු මතින් ඇය පැවසුවා ය. ඉකිබිඳුම තීව්‍ර විය. කතාව නතර විය. පරාටේ නීතිය ක්‍රියාත්මක කරමින් පදිංචිව සිටි නිවස ඇතුළුව කෝටි හතරහමාරකට ආසන්න වටිනාකමක් සහිත දේපළ බැංකුවක් විසින් අත්පත් කරගෙන තිබෙන ව්‍යාපාරිකයෙක් දෙසට අපි යොමු වීමු. ඔහු කෝසල ය. පදිංචිය කඩවත ය. කැමරා සේවා සපයන ආයතනයක් පවත්වාගෙන යන කෝසලගේ කඳුළු කතාව මෙසේ පෙළගැසිණි.

“අපේ නිවස අත්පත් කරගන්න බැංකුවෙන් එනකොට ගෙදර හිටියෙ තාත්තා විතරයි. අධිකරණ රෙජිස්ට්‍රාර්, පොලිස් නිලධාරීන්, බැංකු නිලධාරීන් සේරම පහළොස්දෙනෙක් විතර ඇවිත් තිබුණා. තාත්තාවත් බඩුමුට්ටුත් එළියට දාලා නිවස අරගෙන තිබුණා. ළමයි දෙන්නවත් අරගෙන මමයි, බිරිඳයි කොළඹ මානවහිමිකම් කොමිෂන් සභාවට ගිහින් පැමිණිලි කළා. දැන් දවස් 10කට වැඩියි. තවම සාධාරණයක් වුණේ නෑ. මගෙ තාත්තට වයස අවුරුදු 75ක්. අපිට ඉන්නෙ දුවල දෙන්නෙක්. ලොකු දුවට වයස අවුරුදු 11යි. පොඩි දුවට 7යි. දැන් අපිට ඉන්න තැනක් නෑ. ළමයින්ට ඉස්කෝලෙ යන්න විදිහක් නෑ. ණය ගෙවන්නෙ නෑ කියලා මට විරුද්ධව බැංකුවෙන් දාපු නඩුව විභාග වෙනකොටත් ණය වාරිකය ගෙව්වා. අරගෙන තියෙන ණය මුදල ලක්‍ෂ 100යි. මේ වෙනකොට ලක්‍ෂ 72ක් ගෙවලා තියෙනවා. තවත් කෝටි දෙකයි ගාණක් ගෙවන්න තියෙනවා කියලා තමයි මගෙ දේපළ අත්පත් කරගත්තෙ. අහස පොළොව නුහුලන අපරාධයක්. ඒත් උඩ ඉන්න අයගේ පිහිට මිසක් වෙනත් සරණක් නම් නෑ…” කෝසල කතාව නතර කරන ඇසිල්ලට රංජිත් සමරක්කොඩි හඬ අවදි කළේ ය. හේ, සංචාරක හෝටල් ව්‍යාපාරිකයෙකි. බැංකුවල අකටයුතුකම් හේතුවෙන් දැඩි ලෙස අසරණ වී සිටින තවත් පුද්ගලයෙකි.

“ඒ කාලේ අපි බැංකුවල හොඳම කස්ටමර්ලා. නියම වෙලාවට ණය ගෙවාගෙන යනකොට බැංකු කළමනාකාරවරු කතා කරල ණය දුන්නා. හිර වෙලා ණය ගෙවාගෙන යන්න බැරි වෙනකොට අපි දිහා බලන්නෙ වංචාකාරයො දිහා බලන විදිහට. සේවා ආයතන විදිහට ඇති දා එක විදිහකටත් නැති දා තව විදිහකටත් සලකන්න හොඳ නෑ. අපේ රටේ ගොඩක්ම මූල්‍ය ආයතන ක්‍රියාත්මක වෙන්නෙ ටයි කෝට් ඇඳගත් මංකොල්ලකාරයො වගෙයි. යම් ගැටලුවක් නිසා ණය ගෙවා ගන්න බැරි වෙච්ච හැටියේ ක්‍රියාත්මක වෙන්නෙ ගමේ පොලීකාරයෙක් විදිහට. උත්සාහ කරන්නෙම දේපළ ඩැහැගන්න. මහ බැංකුවත් ණය පොලී වැඩි කරමින් දේපළ මංකොල්ලයට උපරිම සහයෝගය දෙනවා. මේ අර්බුදයට මහ බැංකුව වගකියන්න ඕනෑ…” රංජිත්ගේ කතාවට කේක් නිෂ්පාදනකරුවෙක් වන ඩිල්ෂාන් ජයසූරිය සහ රුවන් රණවන නැවත එකතු වූහ. මේ ඔවුන්ගේ පොදු හඬය.

“පරාටේ නීතිය රෝම – ලන්දේසි නීතියක්. මේ වෙනකොට ඒ රටවලවත් පරාටේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ලෝකයෙන් පැත්තකට දාපු යල් පැනගිය නීති ක්‍රියාත්මක වෙනකොට අපේ රට තවත් වල් වැදෙනවා. ඒ වගේම 2019 පාස්කු ප්‍රහාරය, 2020 – 21 කොරෝනා, 2022 ආර්ථික අර්බුදය මේ රටේ කර්මාන්තකරුවෝ, ව්‍යාපාරිකයෝ, සාමාන්‍ය ජනතාව ඇති කළේ නෑ. ස්වාභාවික ව්‍යසන සහ වැරැදි රාජ්‍ය පාලනයේ අයහපත් ප්‍රතිඵල. ඒත් මේ වෙනකොට අසාධාරණයට පත්වෙලා ඉන්නෙ ණය ගෙවාගන්න බැරි ව්‍යාපාරිකයන්. පරාටේ නීතිය යටතේ දිනකට ව්‍යාපාර 120ක් විතර බැංකු මගින් වෙන්දේසි කරනවා. බැංකුවකට, මූල්‍ය ආයතනයකට සින්නවෙච්ච නිවසක් අත්පත් කරගන්නකොට විකල්ප නිවසක් ලබාදී හෝ දේපළ හිමිකරුවන්ට ජීවත්වීමට යම් ක්‍රමවේදයක් සකස් කර දේපළ අත්පත් කරගන්න ඕනෑ. ඒත් අපේ රටේ එහෙම දෙයක් වෙන්නෙ නෑ. පාසල් ළමයි, වයසක මිනිස්සු, කාන්තාවන් එළියට ඇදල දාලා නිවස පවරා ගන්නවා. ලක්‍ෂ 80 – 100 ණය මුදලට කෝටි 4 – 5 දේපළ අත්පත් කර ගන්නවා. දේපළේ ඉතිරි වටිනාකම හිමිකරුවන්ට ගෙවන්නෙත් නෑ…”

1988 අංක 01 දරන මුදල් ණයට දීමේ ආඥා පනතට අනුව උපරිම පොලී ප්‍රතිශතය 15%යි. ඒ වගේම ණයට මුදලක් ලබා දුන්නම ණය මුදල හා සමාන මුදලක් තමයි නැවත අය කරගන්න පුළුවන්. එම නීතිය බැංකු, මූල්‍ය ආයතනවලට වලංගු නෑ. බැංකුවට කැමැති විදිහට ණය පොලී වැඩි කරනවා. අපිට දෙන ණය මුදල මෙන් තුන් ගුණයක් විතර නැවත අය කර ගන්නවා. ගෙවා ගන්න බැරි වෙනකොට ‘පරාටේ නීතිය’ දාලා අපේ දේපළ අත්පත් කර ගන්නවා. අමු අමුවේ මානවහිමිකම් උල්ලංඝන කිරීමක්. මෙවැනි නීතිවලට එරෙහිව ජනතාව නැඟිටින්න ඕනෑ. ඒත් ගින්දර, ළඟට එනතෙක් රස්නය දැනෙන්නෙ නෑ. ජනතාවගේ ආත්මාර්ථකාමීකම නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ…” ආත්මාර්ථකාමී බව පමණක් නොව, කුහකත්වයෙන් ද පීඩිත වූ මිනිසුන් සහිත රටක, පිරිසකට සිදු වූ අසාධාරණයක් වෙනුවෙන් පෙනීසිටීමට තරම් මෙරට බහුතරය සංවේදී නොවන බව සැබෑ ය. වේගයෙන් පිරිහෙමින් පවතින සමාජයක මිනිසුන්ගේ සිතුම් පැතුම් ගැන කතා කිරීම ගඟට ඉනි කපනවා වැනි ය. එහෙයින් නැවත අපි ‘පරාටේ නීතිය’ ගැන අවධානය යොමු කරමු. නාමල් ගොඩැල්ලවත්තගේ, දේපළ වෙළඳාම් අංශයේ කීර්තිමත් ව්‍යාපාරිකයෙක් වන තුමිලන් සහ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා ද පෙළගැසෙන කතාවට කරුණු ඉදිරිපත් කළහ. එම කරුණු ද සහිතව ‘පරාටේ නීතිය’ ගැන කෙටියෙන් විග්‍රහයක් කිරීම අපගේ කැමැත්ත ය.

ඕනෑම රටක ආර්ථික මර්මස්ථානය එරට මූල්‍ය ක්‍ෂේත්‍රය වේ. 1990 වර්ෂයට පෙර මෙරට ජනතාව බැංකුවලින් ලබා ගත් ණය නොගෙවා පැහැර හැරීම නිසා මූල්‍ය ක්‍ෂේත්‍රය අර්බුදයකට තල්ලු වෙමින් තිබිණි. මූල්‍ය ක්‍ෂේත්‍රය ආරක්‍ෂා කරගැනීම වස් 1990 අංක 04 දරන බැංකු මගින් ප්‍රදානය කරන ණය අය කරගැනීමේ විශේෂ විධිවිධාන පනත ‘පරාටේ නීතිය’ හදුන්වා දී ඇත. එම පනත මගින් අය විය යුතු ණය අය කරගැනීමේ නීතිමය හිමිකම ලියාපදිංචි රාජ්‍ය සහ පෞද්ගලික සෑම වාණිජ බැංකුවකටම හිමි වනු ඇත. ඒ අනුව යම් දේපළක් බැංකුවකට උකස් කර ණය මුදලක් ලබාගත් පසු, එම ණය මුදල සහ ඊට අදාළ පොලී මුදල එකඟ වූ පරිදි නියමිත කාලවකවානුවේදී ගෙවීමට නොහැකි වූ විට, දිගින් දිගටම ණය ගෙවීම පැහැර හැරීම තුළ අධිකරණ ක්‍රියාවලියකින් තොරව ණය අය කරගැනීම සඳහා බැංකු වෙත බලය පවරා ඇත. එමෙන්ම බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ තීරණයකට අනුව යම් පුද්ගලයෙක් බැංකුවකට උකස් කළ දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා එයින් බැංකුවට අය විය යුතු ණය හා පොලී මුදල අය කරගැනීමේ බලය ද එම පනත මගින් හිමි වී ඇත. එහෙත් රාජ්‍ය, පෞද්ගලික බැංකු ණය ගනුදෙනුවක් සම්බන්ධයෙන් ‘පරාටේ නීතිය’ ක්‍රියාත්මක කරනුයේ අවසාන විසඳුම හැටියට ය. එමෙන්ම පරාටේ නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ බැංකු විසින් දේපළ ඇපයට තබාගෙන ලබාදෙන ණයවලට පමණි.

එහෙත් රටේ පැවැති අස්ථාවර භාවයත් සමග මෙරට ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දී සිටින තත්ත්වය ගැන සැලකිලිමත් වෙමින් ‘පරාටේ නීතිය’ යටතේ සිය වත්කම් සහ දේපළ පවරාගැනීමේ ක්‍රියාදාමය තාවකාලිකව අත්හිටුවීමට 2023 වර්ෂයේ දෙසැම්බර් මස 21 වැනිදා තීරණය කෙරිණි. එම තීරණය මෙරට ව්‍යාපාරික ප්‍රජාවට විශාල අස්වැසිල්ලක් විය. එමෙන්ම පරාටේ නීතිය අත්හිටුවීමත් සමග බැංකු ණය ලබාගත් ඇතැම් පුද්ගලයන් හිතා මතා ණය ගෙවීම් පැහැර හැරියේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස බැංකුවල අක්‍රිය ණය ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වෙමින් තිබේ. කෙසේ හෝ වර්තමාන මාලිමා ආණ්ඩුව යටතේ මෙම මස 01 වැනිදා සිට ‘පරාටේ නීතිය’ යළි ක්‍රියාත්මක කර තිබේ. දේපළ, වත්කම් ඇපයට තබා බැංකු ණය ලබාගෙන නොගෙවා පැහැර හරිමින් සිටින ව්‍යාපාරිකයන්ට රතු එළියකි. බැංකුවලට සැමරිය යුතු ජයග්‍රහණයකි.

යම් බැංකුවක් පුද්ගලයෙක්ට හෝ ව්‍යාපාරයකට ණයක් ලබාදෙනුයේ ගනුදෙනුකරුවන්ගේ තැන්පතුවලිනි. මහජනතාවගේ මුදල් ය. ණය ලබාගත් පුද්ගලයන් ගෙවීම් පැහැර හැරිය ද ගනුදෙනුකරුවන්ට පොලිය නොගෙවා සිටීමඕට බැංකුවට නොහැකි ය. එහෙයින් අය විය යුතු ණය අය කරගැනීම බැංකුවේ වගකීමකි. බැංකුවකින් ණය ලබා ගත් විට නැවත ගෙවීම ජනතාව ද වගකීම කර ගත යුතු ය. ණය ගෙවීම් පැහැර හැරීම වංචාවකි. පරාටේ නීතිය නැවත සක්‍රීයවීමත් සමග නොගෙවා පැහැර හරිමින් සිටි ණය වේගයෙන් අය කරගැනීමට බැංකු කටයුතු කළහොත් මෙරට ව්‍යාපාර ක්‍ෂේත්‍රය නැවත අර්බුදයකට තල්ලුවීමට වැඩි ප්‍රවණතාවයක් තිබේ. ව්‍යාපාර ප්‍රජාවත්, රටත්, මූල්‍ය ක්‍ෂේත්‍රයත් ආරක්‍ෂා කරගෙන ණය අය කරගැනීම කළමනාකාරණය කරගැනීමට බැංකු පරිස්සම් විය යුතුය. එමෙන්ම පරාටේ නීතියට යටත්ව බැංකුවලට හිතු මනාපයට ණයකරුවන්ගෙ දේපළ අත්පත් කරගැනීම නතර කර අධිකරණ ක්‍රියාදාමයක් හරහා දේපළ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් හඳුන්වාදීම රජයේ කාර්යභාරයකි.

****

සහන කාලය නිම වුණත් පරාටේ කඩිනමින් ක්‍රියාත්මක කරන්න අදහසක් නෑ…

ශ්‍රී ලංකා බැංකු සංගමය

පරාටේ නීතියට සම්බන්ධ සහන කාලය දැනට අවසන් වී ඇතත් පරාටේ නීතියට අදාළ ක්‍රියාමාර්ග ඉතා කඩිනමින් දියත් කිරීමට බැංකුවලට අදහසක් නොමැති බව ශ්‍රී ලංකා බැංකු සංගමය පසුගිය දිනක මාධ්‍යයට පවසා තිබිණි.

පරාටේ නීතිය අත්හිටු වූ කාලය 2025 මාර්තු 31 දා අවසන් වූ නමුත්, ඉන් පසුවද බැංකු සමග සම්බන්ධ වීමට සහ තම ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට අපහසුතා තිබූ ණය ගැතියන්ට තවදුරටත් කාලය ලබා දෙමින්, බැංකු අංශය විසින් ස්වෙච්ඡාවෙන් ම තවත් මාස තුනකට එම සහනය දීර්ඝ කරන ලද බව ද එම සංගමය කියයි. එහි ප්‍රතිඵලයක් ලෙස, බොහෝ ණයගැතියන් තම ණය ආපසු ගෙවීම සඳහා තවදුරටත් සහන ලබා ගැනීමට කටයුතු කළ අතර සමහර අවස්ථාවලදී එම සහන කාලය 2025 දෙසැම්බර් දක්වා ද දීර්ඝ කර දී ඇති බව ඕවුහු පැවසූහ.

එම මූලික දීර්ඝ කිරීම දැන් අවසන් වීමත් සමග පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සහ උකස් කළ වත්කම් වෙන්දේසි කිරීමේ ප්‍රවාහයක් ළඟදීම ඇති වන බවට භීතියක් ඇති කිරීමේ අරමුණින් ණයගැතියන් අතලොස්සක් නැවතත් විරෝධතා ආරම්භ කර ඇත. බොහෝ ණයගැතියන් තම ව්‍යාපාර නැවත නඟාසිටුවීම සඳහා බැංකු සමග එක්ව ඵලදායී ලෙස කටයුතු කරන අවස්ථාවක, මෙම ප්‍රකාශ අතිශයෝක්තීන් වනවා පමණක් නොව, එමගින් නියත වශයෙන් ම අනිසි ප්‍රතිඵල ඇති විය හැකි බව ද එම සංගමය පවසයි.

පරාටේ නීතිය නැවත භාවිත කිරීම පිළිබඳව අනතුරු ඇඟවීම් හා ඒ පිළිබඳව ව්‍යාකූලත්වයක් ඇති කිරීමට කුඩා කණ්ඩායමක් සිදුකරන උත්සාහයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා බැංකු සංගමය පවසයි. එමෙන්ම මෙම යාන්ත්‍රණයන් සමග සම්බන්ධ වීම වෙනුවට, ණයගැතියන් සුළු පිරිසක් විසින් අනවශ්‍ය බියක් ඇති කිරීමට හා මූල්‍ය පද්ධතිය කෙරෙහි ඇති මහජන විශ්වාසය බිඳ දැමීමට උත්සාහ කිරීම අතිශයින් කනගාටුදායක බව දිවයිනේ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා බැංකු සංගමය වැඩිදුරටත් පවසයි.

තරංග රත්නවීර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
විශේෂාංග

ළමා අපයෝජනයකදී වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම පමා නොකළ යුතුයි

අතිරේක විශේෂාංග

සඳ ගමනට වසර 56යි

විශේෂාංග

චමත්කාර රාත්‍රිය වෙනස්ම අත්දැකීමක් – ලක්ෂිත සූරියසේන

විශේෂාංග

ගමේ වැසී යන සිනමාශාලා යළි ඇරඹිය යුතු ඇයි?

විශේෂාංග

ඇල්ෆා බ්ලොන්ඩිගේ ප්‍රසංගය හෙට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok