එතරම් ලොකු දේශපාලන උණුසුමක් නැති තවත් දින කීපයක් ගෙවී ගියේය. රට දැන් සාමාන්‍ය තත්ත්වයට පත්ව සාමාන්‍යකරණය වී අවසන්ය. ආණ්ඩුව පැත්තෙන් ගත්තත් ලොකු ලොකු ව්‍යාපෘති කිසිවක් නොමැති තරම්ය. පසුගිය දිනවල ආණ්ඩුවටත් විපක්ෂයටත් තිබූ ලොකුම ප්‍රශ්නය වූයේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්නේ කොහොමද කියාය.
දැන් ඒ ප්‍රශ්නයත් අවසන්ය. පළාත් පාලන මැතිවරණය නිමවී ජයග්‍රාහී ජාතික ජනබලවේගයට බලය පිහිටුවන්නට වැඩි ඉඩකඩක් නොතිබූ පළාත් පාලන ආයතන බොහෝමයක පවා අවසානයේ බලය පිහිටුවා ගත්තේ ජාතික ජනබලවේගයයි. විපක්ෂය එකතු වී බලය ලබාගත හැකි තැන් විශාල ප්‍රමාණයක් තිබුණත් විපක්ෂයේ සියලු කොටස් එකට එක මතයක නොසිටීම හේතුවෙන් එයින් අඩකටත් වඩා ආයතන අවසානයේ ජාතික ජනබලවේගයට හිමි විය. කොළඹ මහ නගර සභාව ඇතුළු තවත් ආයතන ගණනාවක බලය තීන්දු වූයේ විපක්ෂයෙන් යම් යම් කොටස් ජාතික ජනබලවේගය සමගින් අවසානයේ අත්වැල් බැඳ ගැනීම නිසාය.
ආණ්ඩුවට දැන් තියෙන්නෙ දුන් පොරොන්දු ඉටුකරන්න..
දැන් ඒ ප්‍රශ්න කිසිවක් නැත. ආණ්ඩුවට දැන් ඉතිරිව ඇත්තේ ජනතාව ඉදිරියේ මැතිවරණවලට පෙර දුන් පොරොන්දු ඉටුකරමින් රට සංවර්ධනයේ හා සාර්ථකත්වයේ මාවත ඔස්සේ ඉදිරියට රැගෙන යෑමයි.
මේ අතර පසුගිය දිනවල රටේ බොහෝ දෙනකුගේ අවධානය යොමු වූ තවත් කාරණාවක් වූයේ පොලිසියේ මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාව සිටි ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට උසස් කිරීමයි. ඔහු ගැන එසේ රටේ අවධානයට ලක්වන්නට හේතු කිහිපයක්ම විය.
එක් හේතුවක් වූයේ ඔහු විශ්‍රාමිකයෙකි. වයස අවුරුදු හැට ඉක්මවා විශ්‍රාම ගිය ඉහළ නිලධාරියකු යළිත් පොලිස් සේවයට කැඳවීම හා ඔහුට මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය බඳු වගකිවයුතු ආයතනයක අධ්‍යක්ෂ පදවියක් ලබාදීම බොහෝ අය ප්‍රශ්න කරන කාරණාවක් වුවත් රජය ඒ පිළිබඳ කිසිදු වග විභාගයක් නොමැතිව සිටියේය. කාලයක් එසේ ගත වී ප්‍රශ්නය සාමාන්‍යකරණය වූ තැන පසුගිය දිනවල යළිත් ඔහුට ඊටත් වඩා බරපතළ වගකීමක් ලෙස රහස් පොලිසියේ අධ්‍යක්ෂ තනතුර භාරදීම බොහෝ දෙනකුගේ අවධානයට ලක්විය. පසුගිය දිනවල විපක්ෂයේ සමහර පිරිස් මේ ගැන කතා කළේ එනපොට හොඳ නැති බව පෙන්වා දෙමිනි.
පසුගිය සතියේ සඳුදා පාර්ලිමේන්තුව පැවැති අවස්ථාවේ මේ ගැන විපක්ෂයේ මන්ත්‍රීවරු සාකච්ඡා කරන්නට වූහ. සඳුදා කොහොමටත් පාර්ලිමේන්තුව තරමක් උණුසුම් දවසක් ලෙස කැපී පෙනෙන්නට විය. මන්ත්‍රීවරුන්ට ලොබියේ කතා කරන්නට ඕනෑ තරම් කරුණු කාරණා තිබුණු සතියකි පසුගිය සතිය.
“කොහොමටත් මේ ආණ්ඩුව කරනවයි කියපු කිසිම දෙයක් තාම කළේ නෑ. පොරොන්දු ඉටුකරන තුරු බලාගෙන හිටපු ජනතාවට අද සැනසීමකට තියෙන්නේ අල්ලස් කොමිසමයි සී අයි ඩී එකයි කරන වැඩ ටික විතරයි.” විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කීවේය.
“හොඳට හොයලා බලන්න… දැං ඔය හිරේ දාන, ප්‍රශ්න කරන, අච්චු කරන කට්ටිය ඉන්නවනේ. එහි නඩු එකක්වත් මේ ආණ්ඩුව බලයට ආපුවාට පස්සේ දාපු ඒවාද… නෑ… ඒ ගොඩක් නඩු දාල තියෙන්නෙ එක්කෝ සිරිසේනගේ කාලේ. එහෙමත් නැත්නම් රනිල්ගේ කාලෙ. ගෝඨාභයගේ කාලයේ දාපුවත් තියෙනවා…”
“හරි හරි…. මේ ආණ්ඩුව කාලෙ දාපු නඩු නැති වුණාට මේ ආණ්ඩුවෙන්ම පරීක්ෂණ පවත්වන්න ඕන තරම් කේස් තියෙනවනේ. අන්න ඒ කේස් ගැන නිවැරදිව පරීක්ෂණ කරල නඩු දාන්න තමයි ආණ්ඩුව අලුත් ඩිරෙක්ටර් කෙනෙක් පත් කළේ. ඒක තේරෙන්නෙ නැද්ද…”
“ඔව් ඉතින් අපිත් බලාගෙන ඉන්නවනේ… බලමු මොනවද ඉස්සරහට වෙන්නේ කියලා….” එසේ කියමින් මන්ත්‍රීවරු විසිර ගියහ.
මේ අතර දයාසිරිලා ඇතුළු සමගි ජනබලවේගයේ හා පොදු විපක්ෂයේ පිරිසක් කතාබහ කරමින් සිටි තැනට නාමල්ලා, චානකලා හා තවත් කීපදෙනෙක් පැමිණියහ. එතනදී ද කතාබහට ලක්වූ මාතෘකාව වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදුවන අලුත් වෙනස්කම ගැනයි. මන්ත්‍රීවරු නාමල්ට විහිළු කළේ දැන්, ඉතින් තවදුරටත් පරිස්සම් වෙන්න වේවි කියාය…
“පරිස්සම් වෙන්න දෙයක් නෑ… මේ කාලයේ දේශපාලනය හරියට කරනවනම් ඕනම කෙනෙක් ඔය පරීක්ෂණවලටයි අල්ලස් කොමිසමේ පරීක්ෂණවලටයි යන්න බලාගෙන ඉන්න ඕන. ඊට පස්සේ රිමාන්ඩ් එකට යන්නත් හිත හදාගෙන ඉන්න ඕන. එච්චරයි…“
“කතාව යන්නේ ඔබතුමාලගේ මවුතුමිය ඇතුළු පවුලේ කීපදෙනෙක්ම යන්න නියමිතයි කියලනේ…”
“කවුද කියන්නේ… ඕක කියන්නේ දැන් අවුරුද්දක විතර ඉඳලා ජනතාව රවට්ටන්න පුරෝගාමී වුණ “මාලිමාවේ සමාජ මාධ්‍ය බළකායනේ” ඒක ඒගොල්ලන්ගේ රස්සාව.. ඇයි ඒගොල්ලෝ මහ ලොකුවට දාලා තිබුණේ අම්මිව බේරගන්න මල්වතු මහනායක හාමුදුරුවොත් ජනාධිපතිට කතා කරා කියලා. අන්තිමේ ඒ කරපු අපහාසයට මල්වතු හාමුදුරුවෝ මොකක්ද කළේ?. අන්න ඒ කතාව පට්ටපල් බොරුවක් කියල නිවේදනයක් නිකුත් කරලා…. දැක්කේ නැද්ද…”
කන්ටේනර් ප්‍රශ්නය ගැන දයාසිරි මුජිබර්ට කියාදීලා
සඳුදා දිනයේ පාර්ලිමේන්තුවේ තවත් විශේෂ දෙයක් සිදුවිය. එදා උදේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණියේ කුමක් හෝ සැලසුමක් ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුමක සිට බව උදේ පටන් මන්ත්‍රීවරු කතාබහ කරන දේවල්වලින් පෙනෙන්නට වූහ. දහවල් මෙහෙයුම ක්‍රියාත්මක වූයේ මුජිබර් රහුමාන් කරන ලද හෙළිදරව්වකුත් සමගයි.
වරායෙන් රතු ලේබලය අලවන ලද කන්ටේනර් 323ක් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම ගැන මීට මාස කීපයකට පෙර ලොකු ප්‍රශ්නයක් ඇති විය. හදිසියේ ඇති වූ තදබදය ඉවත් කිරීමට මෙසේ කඩිනමින් කන්ටේනර් නිදහස් කිරීමට සිදුවූ බව රජය පිළිගත්තත් ඒවා පරීක්ෂාවකින් තොරව එළියට දැම්මා යන චෝදනාව රජය පිළිගත්තේ නැත. අදාළ ඇමැතිවරයාත් නියෝජ්‍ය ඇමැතිවරයාත් රේගුවේ බලධාරීනූත් වෙන් වෙන්ව ඒ ගැන එක එක කතා කියන්නට වුවත් රේගුවේ එක් ප්‍රධානියෙක් ඉතා වැදගත් ප්‍රකාශයක් නිකුත් කළේය. ඔහු කීවේ අදාළ කන්ටේනර් නිදහස් කරන්නට සිදු වූයේ විෂය භාර අමාත්‍යවරයාගේ නියෝගයක් මත බවය. නියෝජ්‍ය ඇමැතිවරයා කීවේ “ඔව් අපි තමයි නිදහස් කළේ ඇයි මොකද කියාය….”
කෙසේ නමුත් කන්ටේනර් නිදහස් කිරීම පිළිබඳ ප්‍රශ්නය ආණ්ඩුවට නරකට බලපෑවේය. රජයේ මාධ්‍ය ප්‍රකාශක හා කැබිනට් ප්‍රකාශයක එම නිදහස් කිරීම සාධාරණීකරණය කරන්නට නොයෙකුත් කතා කීවත් පාර්ලිමේන්තුවේ දී සභා නායකවරයා වන අදාළ ඇමැතිවරයා වටින් පිටින් නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කළේය. ඒ අතර රේගුවේ මාධ්‍ය ප්‍රකාශකවරයෙක්ද කතා කරමින් මෙම කන්ටේනර් නිසි පරිදි පරීක්ෂා කළ බවත් ඒවායේ ඔය කියන අන්දමේ රහසිගත හෝ රහස්‍ය හෝ තහනම් භාණ්ඩ නොතිබුණු බවත් රට හමුවේ විශේෂ ප්‍රකාශයක් කළේය. මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කරන්නට විශේෂ පරීක්ෂණ කොමිසමක් ද පත් කරන්නට රජයට සිදුවිය…
කොමිසමක් පත් කළත් ඒ කොමිසමේ වැඩකටයුතු හා එහි පරීක්ෂණ වාර්තාව ගැන බොහෝ දෙනකුට අමතක වන්නට වැඩි කලක් ගත වූයේ නැත. අලුත් අලුත් මාතෘකා හා අලුත් අලුත් ප්‍රශ්න පැමිණ පරණ ප්‍රශ්න හා පරණ මාතෘකා යටපත් කර දමනු ලැබීය.
ඒ අතර පාර්ලිමේන්තුවේදී විපක්ෂය කිහිපවරක් මේ ගැන විමසා සිටියත් ආණ්ඩුව ඊට පිළිතුරු දුන්නේ කොමිෂන් වාර්තාවක් තවම පැමිණ නැතැයි කියාය. එහෙත් ආණ්ඩුව සහ මුළු රටම මවිතයට පත් කරමින් නැතැයි කී කොමිෂන් සභා වාර්තාව සමගි ජනබලවේගයේ මුජිබර් රහුමාන් පසුගිය සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් හරි අපූරු විශේෂ කතාවක් කළේය. කන්ටේනර් පරීක්ෂාවකින් තොරව හිතු මතයේ නීති විරෝධීව නිදහස් කර ඇති අන්දම පරීක්ෂණ වාර්තාවෙන් මොනවට ඔප්පු වී තිබිණි.
මේ සිද්ධිය නිසා සඳුදා දිනයේ පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු බලවත් අපහසුතාවයකට පත්වූහ. “කොමිෂන් සභා වාර්තාව දෙනවනම් ආණ්ඩුවට දෙන්න ඕන. ඒක කොහොමද විපක්ෂය අතට ගියේ. මේ ගැන පරීක්ෂණයක් තියන්න ඕන…” ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කීහ.
“ඒක අපි දන්නෑ… අපි දන්න විදියට ඕගොල්ලන්ගේ අතට මේ වාර්තාව ඇවිල්ල දැන් මාස එකහමාරකට වඩා වැඩියි. විෂය භාර ඇමැති සභානායකතුමා එහෙම කොමිෂන් වාර්තාවක් ඇවිල්ල නෑ කියලා කිව්වා. ජනතාවට බොරු කිව්වා. පාර්ලිමේන්තුවටත් හැංගුවා. අන්තිමේ ඒ වාර්තාව ඉදිරිපත් කරන්නේ නැතුව හංගගෙන හිටියා. මොනවද මේ ආණ්ඩුවේ කැත වැඩ…” විපක්ෂයේ මන්ත්‍රීවරු මේ ගැන දැඩිව ආණ්ඩු පක්ෂයට චෝදනා නඟන්නට වූහ.
ඉන් පසුව පාර්ලිමේන්තු ලොබියේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය. විපක්ෂයේ මන්ත්‍රීවරු තැන තැන එක් වී ආණ්ඩු පක්ෂයේ උදවියට මේ ගැන කියමින් ලොබියේ විහිළු කරන්නට පටන් ගත්හ. ඔය අතරතුර මුජිබර් රහුමාන්ව වට කරගත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු ඔහුට සුබපතන්නට පටන් ගත්හ.
“ඒකනං ග්‍රේඩ් වැඩක්… ඔබතුමාගේ දැන් කතාව හා සටන්කාමීත්වය හොඳයි. නියමයි මන්ත්‍රීතුමා. ඔබතුමා වගේ දහයක් හිටියනම් සජබෙ ගොඩ…” සජබෙ නොවන විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කීවේය. ඒ අතර දයාසිරි ද පැමිණ මුජිබර් හා කතාබහ කරමින් මෙසේ කීවේය…
“මේ කේස් එක අපි නිකන් අතහරින්න හොඳ නෑ… අල්ලස් කොමිසමට පැමිණිලි කරන්නත් ඕන…. ඒත් එක්කම සීඅයිඩී එකටත් මේක ගැන පැමිණිල්ලක් අරගෙන යන්න ඕන…”
“එහෙම කොමිෂන් වාර්තාවක් නෑ කියලනේ මෙයාලා දිගින් දිගටම කිව්වේ. නෑ කියපු එක ඔන්න මම ඉදිරිපත් කළා…. මේක ගැන සමාජයට මොන තරම් බොරු කිව්වද. දැන් විගණකාධිපති දෙපාර්තමේන්තුවට කියන්න ඕන අදාළ බලධාරීන්ගෙන් මේ පාඩු වූ මුදල අයකර ගන්න කියලා.”
“ඔව් ඉතින් බොරුවෙන්ම වැඩ කරන ආණ්ඩුවක් බොරුවෙන්ම ජීවත් වෙනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද…”
“අර සුනිල් හඳුන්නෙත්ති මොනවද කිව්වේ?…”
“එයා කියනවා අපි ඕක ඉදිරිපත් කරන්නයි හිටියේ… විපක්‍ෂය කලින් කලබල වෙලා විපක්ෂය ඉදිරිපත් කළා කියලා….”
“කොමිෂන් වාර්තාව හම්බවුණානම් ඒක තියාගෙන රත් කර කර ඉන්නෙ මොකටද…. ඉදිරිපත් කරන්න එපැයි පාර්ලිමේන්තුවට”
“ඔව් ඒ අස්සෙ මං අහගෙන කියනවා.. ආණ්ඩුවට දෙන්න තියෙන වාර්තාව විපක්ෂයේ අතට කොහොමද ගියේ කියලා පරීක්ෂණයක් කරන්න ඕනත් කියලා…”
“ඔවු ඉතින් ඒ ගොල්ලන්ට තියෙන්නේ පරීක්ෂණම කර කර ඉන්න තමයි…
“කොහොම වුණත් සමගි ජනබලවේගය රටට දැනෙන්න වැඩක් කියල දෙයක් කරා….” එසේ කී මන්ත්‍රීවරයා මුජිබර්ට ගෞරවය දෙමින් කතා කළේය. ඒ අතර සජබේ නොවන තවත් අයෙක්…
“ඔහොම නෙවෙයිනේ කියන්න ඕන… ඇති යන්තම්. රටට දැනෙන්න සජබය මේ මාස හතට එක වැඩක් කළා කියලයි….”
ඒ කතාවට නම් කාට කාටත් හීනා නොවී බැරි විය….
පොහොට්ටුවේ කකුලක් නික්ම ගිය කතාවක් …
මේ අතර පසුගිය සතියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවට ඉතා කනගාටුදායක ආරංචියක් වාර්තා විය. පසුගිය සඳුදා පොහොට්ටුවේ නෙළුම් මාවත කාර්යාලයේ නාමල්ගේ මූලිකත්වයෙන් විශේෂ රැස්වීමක් සාගර කාරියවසම් කැඳවා තිබුණේ පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු ගැන කතා කරන්නටය. නාමල්, සාගර, ජෝන්ස්ටන්, චානක, සංජීව එදිරිමාන්න ඇතුළු කිහිප දෙනෙක් මේ සාකච්ඡාවට පැමිණ සිටියහ…
සති කීපයක සිට අසනීපව කොළඹ ආසිරි සර්ජිකල් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොහොට්ටුවේ ඉදිරි පෙළ ක්‍රියාකරුවකු වන හිටපු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වූ පුවත ඔවුන්ට සැලවූයේ ඒ මොහොතේ ය.
ගාමිණී ලොකුගේ මහතා අසනීපව ආසිරි රෝහලේ ප්‍රතිකාර ගන්නට පටන් ගෙන මේ වන විට සති කිහිපයකට වැඩිය. මුලින්ම ඔහුට වැළඳී තිබුණේ පපුවේ සෙම හිරවීම පිළිබඳ ප්‍රශ්නයකි…. ඒ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා ද ඔහුගේ සුව දුක් බලන්නට සර්ජිකල් රෝහලට ගොස් තිබුණේය…
ඒ අවස්ථාවේ ඉතා හොඳින් නැගිට විශේෂ අමුත්තන් හා කතාබස් කරමින් සිටි ලොකුගේ… තම දරුවන්ගේ අවශ්‍යතාවය මත වැඩිදුර ප්‍රතිකාර ගැනීමට සිංගප්පූරුවට යන්නට බලාපොරොත්තු වන බව ද මහින්ද මහතා සමග කියා තිබිණි.
තවත් දින කිහිපයකින් රෝහලෙන් පැමිණ සිංගප්පූරු යෑම සඳහා විවේක සුවයෙන් අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින අතරතුර ඔහුට යළිත් වතාවක් අසනීප වී තිබිණ… යළිත් වතාවක් සර්ජිකල් ආසිරි රෝහලට ඇතුළත් කළත් ඒ අවස්ථාවේ ඔහුගේ තත්ත්වය බරපතළ විය. වකුගඩු, අක්මාව ආදී ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියට සම්බන්ධ ප්‍රධාන අවයව කීපයක්ම අකර්මණ්‍ය වෙමින් පවතින බව වෛද්‍ය මතය වූහ.
ඒ අවස්ථාවේ මහින්ද මහතා නාමල්ට කීවේ ලොකුගේ ගේ සැප දුක් බලන්නට යන්න කියාය. පසුගිය සතියේ නාමල් එහි යන විට ලොකුගේ ගේ තත්ත්වය බරපතළ විය. අමුත්තන්ගේ පැමිණීම පවා නතර කරන්නට වෛද්‍යවරු තීරණය කර තිබුණේ ලොකුගේ ගේ දියණියන් දෙදෙනාගේ අවසරය ඇතිවයි. නාමල්ට රෝගියා බලන්නට ඉඩකඩක් ලැබී තිබිණි.
සඳුදා උදේ එම මරණය ආරංචි වූ අවස්ථාවේ නාමල් මහින්ද මහතාට ද ඒ පිළිබඳ කරුණු අනාවරණය කළේය…
“ලොකුගේ කියන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවන්න අපට ලොකු හයියක් වුණු කොළඹ ජන නායකයෙක්. එතුමන්ගේ වියෝව අපි ඔක්කොටම ලොකු පාඩුවක්. එතුමා හොඳ කම්කරු නායකයෙක්. හොඳ සංවිධායකවරයෙක්. පොහොට්ටුවේ පුරෝගාමියෙක්. ඒක නිසා අපි පක්ෂයක් හැටියට මැදිහත් වෙලා මේ අවමංගල්‍යය උත්සවයේ වැඩකටයුතු බලාගන්න ඕන” මහින්ද මහතා නාමල්ට සහ සාගරට උපදෙස් දුන්නේය.
එදින හවසම මළගෙදරට ගොස් අවශ්‍ය කළමනා ලක ලෑස්ති කරන්නට සාගර කටයුතු කළත්, පවුලේ උදවියගේත් දියණියන් දෙදෙනාගේත් ඉල්ලීම වූයේ තම පියාණන්ගේ අවසන් කටයුතු නිවසේ ඉතා චාම්ව පවත්වාගෙන යා යුතු බවයි. පොදුජන පෙරමුණට පවුලේ උදවියගේ අදහසට එකඟ වන්නට සිදුවිය.
පසුගිය බ්‍රහස්පතින්දා ලොකුගේ ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කැස්බෑවේ නිවස මුල් කරගෙන පැවැති අතර පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු ඇතුළු පරණ දේශපාලනඥයන් අතිවිශාල පිරිසක් ලොකුගේ ගේ දේහයට අවසන් ගෞරව කරන්නට පහුගිය දවස් දෙක තුන ඇතුළත පැමිණ තිබිණි. ලොකුගේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය තුළ දීර්ඝ කාලයක් කොළඹ මහ බලවතෙකු ලෙස කටයුතු කළ දැවැන්තයෙකි. පසුකාලීනව ඔහු එජාපයෙන් සමුගෙන පොදුජන පෙරමුණට පැමිණියත් පිළියන්දල ප්‍රදේශයේ ඔහුට ලොකු ජනබලයක් තිබුණු බව පැහැදිලිය. මේ නිසා අති විශාල ජනකායක් මේ දේහයට අවසන් ගෞරවය දක්වන්නට පහුගිය දින දෙක තුන තුළ නිවසට පැමිණ ගොස් තිබිණ.
අවසන් කටයුතු කරන දිනයේ ආගමික වතාවත්වලට පැමිණ සිටි බෙල්ලන්විල හාමුදුරුවෝ හා ඕමාරේ කස්සප හාමුදුරුවෝ අනුශාසනාවේ දී විශේෂ කරුණු කිහිපයක් මතුකරමින් අනුශාසනා පැවැත්වූහ… පහුගිය කාලයේ ලොකුගේ මහතා වෛරී දේශපාලනය රටේ වැපිරූ බලවේගවල ගොදුරක් වූ අයුරු උන්වහන්සේලා පෙන්වා දුන්හ. එම බලවේග විසින් යමක් කමක් තිබෙන මුදල් හරිහම්බ කරගෙන පාරම්පරිකව සිටින ප්‍රභූන් කෙරෙහි පොදු ජනතාව තුළ මහා වෛරයක් නිර්මාණය කළ බව මතක් කළහ.
මහින්දව දැකලා මළගෙදර අමතක වෙලා
මළගෙදරට ආණ්ඩු පක්ෂයෙන් කිසිම දේශපාලනඥයෙක් පැමිණ තිබුණේ නැත. රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස කල් වේලා ඇතිව දේහයට අවසන් ගෞරව දක්වා ගොස් තිබිණ. අවසන් දිනයේ අවමංගල්‍ය සභාව අවස්ථාවට මහින්ද රාජපක්ෂ, හිටපු කථානායක මහින්ද යාපා, බන්දුල ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, සී.බී. රත්නායක, ඩලස් අලහප්පෙරුම, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ඩී. වී චානක, රමේෂ් පතිරණ, සංජීව එදිරිමාන්න, චාමර සම්පත් ඇතුළු දේශපාලනඥයෝ විශාල පිරිසකි.
අවමංගල්‍යය උත්සවයේ මහින්ද මහතා සිටියදී බොහෝ දෙනෙක් පැමිණ එතුමන් හා කතාබස් කරන්නටත් මුහුණ බලන්නටත් ඡායාරූප ගන්නටත් උත්සාහ කරන බව නිරීක්ෂණය විය.
“මහින්ද මහත්තයා එක්ක පින්තූර ගන්න හම්බවුනොත් මේ කොයි කාටත් මෙතන තියෙන්නේ මළ ගෙයක් කියලා අමතක වෙනවා…” අවට රැස්ව සිටි විශාල ජනකාය දෙස බලමින් සාගර කාරියවසම් කීවේය.
එම අවස්ථාවේ මහින්ද මහතා තවදුරටත් එතන රැඳී සිටීම සෙනඟ පාලනය කර ගැනීමට බාධාවක් වේ යැයි හිතපු සංවිධායකයෝ ලොකු ගේ ගේ නිවස ඇතුළේ මහින්ද මහතා වෙනුවෙන් වෙනම තැනක් සූදානම් කළහ. අවමංගල්‍යය වැඩකටයුතු ඉවරවන තුරු මහින්ද මහතා රැඳී සිටියේ එහිය.
මේ අතරතුර ලද පොඩි මොහොතකින් වුවත් චාමර සම්පත්ට ද රසිකයන්ගෙන් ඉසිඹුවක් ලැබුණේම නැති තරම්ය. ඔහු හා කතා කරන්නට පැමිණි බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවේදී මේ දිනවල ඔහු ඉටුකරන මෙහෙවර ගැන ප්‍රශංසාවකින් කතා කළහ.
උත්සව සභාව ද චාම් එකක් විය. නාමල් රාජපක්ෂ පමණක් එහි දේශපාලනඥයකු ලෙස කතා කළේය. පවුලේ අයගේ සංවිධාන කටයුතුවලින් තිබූ වියතිරේකයක් විය. ඒ අයුරින් නිහඬ ගමනකින් කොළඹ දිස්ත්‍රික්කයේ දේශපාලනයේ සිටි ප්‍රවීණම බලවතා අවසන් ගමන් යනු ලැබීය.
කලක් අපේ රටේ රාජකීය දෛවඥයා ලෙසින් විරුදාවලිය ලත් සුමනදාස අබේගුණසේකර මහතාගේ 73 වන ජන්ම දිනය යෙදී තිබුණේ පසුගිය සෙනසුරාදා දිනයේය. වෙනදා නම් එම ජන්ම දින උත්සවය විශේෂ ගණයේ දේශපාලනඥයන් කලාකරුවන් මාධ්‍යවේදීන් රැසකගේ ප්‍රධානත්වයෙන් කොහේ හෝ තැනකට උත්සවාකාරයෙන් පවත්වන ලද්දකි. එහෙත් මෙවර බොරලැස්ගමුවේදී එම උපන්දිනය සමරනු ලැබුවේ පවුලේ ඥාතීන් කිහිපදෙනා සමගය. හිටපු ජනාධිපතිවරු ඇතුළු බොහෝ දේශපාලනඥයෝ එහිදී උදේම ඔහුට සුබපතන්නට කතා කළහ.
“අනේ ඉතින් මැතිතුමා… වෙනදා නම් අද වගේ දවසක සූදානම් සාදයක් උත්සවයක් සංවිධානය කරන්නේ මගේ නෝනනේ. එතුමිය අවසන් ගමන් ගිය දවසේ ඉඳලා අපි මේ වගේ සාද පවත්වන්නේ නෑ. ඇයි ඉතින් කවුද මේවා කරන්නේ?…” කියමින් නිහතමානීව සුභපැතුම් භාරගත් සුමනදාසයෝ ඒ කතා කළ සියලුම දෙනාට පෙරළා ස්තුතිවන්තව කතාබස් කරන්නට අමතක නොකළේය. වේලාසනින් එම උත්සවයේ වැඩකටයුතු අවසන් කළ සුමනදාසයෝ එදින හවසම ගාල්ල බලා පිටත්ව ගියේ ගාල්ලේ සිටින ඥාතීන් හා හිත මිතුරන් හමුවන්නටය.
වජිර රනිල් වෙනුවෙන් ඉෂක් බලන්න ගිහින් …
පසුගිය සති අන්තයේ එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන මහතා තම පවුලේ සියලු දෙනාත් සමග මහනුවරට පැමිණියේ විශේෂ කර්තව්‍යයක් වෙනුවෙන් සහභාගි වීම වෙනුවෙන්ය.
එතුමා ඇතුළු පවුලේ උදවිය විසින් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩවසන්නට යෙදෙන සංඝයා වහන්සේලා දස නමක් වෙනුවෙන් හීල් දානමය පිංකමක් භාරගත් නිසාවෙනි.
මේ අතර පසුගිය ඉරිදා දිනයේ සවස වජිර විශේෂ කෙනෙක්ගේ සුවදුක් බැලීම සඳහා ගොස් තිබුණි. ඒ අන් කවරෙකුවත් නොව දැනට රෝගාතුරුව සිටින ප්‍රවීණ ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාය.
ඉෂාක් බෙග් මහතා මේ දිනවල අසනීප තත්ත්වයෙන් සිටින අතර ඔහුට ඒ සඳහා ශල්‍යකර්මයක්ද කිරීමට සිදුව තිබේ. ඒ වෙනුවෙන්ද විශාල මුදලක් වැයවන අතර බොහෝ දෙනා ඒ වෙනුවෙන් ඉෂාක්ට හැකි පමණින් සහයෝගය ලබාදී තිබේ.
කෙසේ වෙතත් වජිරත් ඉෂාක් බැලීමට හිස් අතින් නොගිය අතර ඔහුගේ ශල්‍යකර්මයට අවශ්‍යවන මුදල් සොයා ගැනීමට මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකර තිබිණි.
වජිර ඉෂාක්ගේ නිවසට ගොස් ඔහුත් සමග බොහෝ වේලාවක් කතාබහක නියැළී සිටි අතර ඒ අතර තුර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දුරකථනය හරහා ඉෂාක්ගේ සුවදුක් විමසීමට සම්බන්ධ වූ අතර හිටපු ජනාධිපති රනිල්, ඉෂාක්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කර සිටියේය.
බුලිත ප්‍රදීප් කුමාර