වාහන 177ක් මෙරටට ගෙන්වා නීති විරෝධී ලෙස මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරලා
සුඛෝපභෝගී වාහන ආනයනය කර රජයට කෝටි තුනයි ලක්‍ෂ විසිදෙකක පාඩුවක් සිදුකරලා
මුල් ලියාපදිංචියක් සිදුවෙලා නැති නිසා වාහනය ලියාපදිංචි කිරීම ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනය ප්‍රතික්‍ෂේප කරලා ප්‍රතික්‍ෂේප කර තිබියදීත් වාහන 51කට අංක තහඩු නිකුත් කිරීමට නියෝග දීලා
–අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් අධිකරණයට කියයි
ඉකුත් පළමු වැනිදා (1දා) හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනකු ලබන 8 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය නියෝග කළේය. එයට හේතුව වූයේ ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති සුඛෝපභෝගී මෝටර් රථයකට අදාළ අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබාදීමට ක්‍රියාකිරීමය. ඒ අනුව හිටපු මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ, එම දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සහකාර අධ්‍යක්‍ෂ (තොරතුරු තාක්‍ෂණ) බ්‍රාහ්මණ වාසල, ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම හා එහි ලිපිකරුවකු වන අත්තරගම ගෙදර ධම්මික නිරෝෂන් යන සැකකරුවන් තිදෙනා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.
එහිදී අල්ලස් කොමිසමේ විමර්ශන අංශයේ නිලධාරීන් අධිකරණයේදී කියා සිටියේ ආර්එම්වීයේ නිලධාරීන් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇති බවකි. අප මේ සටහන් කරන්නේ එසේ ආර්එම්වීයේ නිලධාරීන් සිදුකළා යැයි කියන ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වාහන ලියාපදිංචිය හා අංක තහඩු නිකුත් කිරීමෙන් රජයට සිදු වූ පාඩුව ගැනය.
වාහන 177ක් නීතියට පිටින් රෙජිස්ටර්
පසුගියදා අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ආර්එම්වීයේ නිලධාරීන් නීති විරෝධී ලෙස වාහන 177ක් මෙරටට ගෙන්වා නීතියට පිටින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබෙන බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බවය. ඔවුන් අධිකරණයට දන්වා සිටින්නේ ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීති විරෝධී ලෙස ලියාපදිංචි කළ ටොයොටා වර්ගයේ ජීප් රථයක් සඳහා අංක තහඩු නිකුත් කිරීමට අනුමැතිය දීම තුළින් ඉහත කී සැකකරුවන් තිදෙනා දූෂණ විරෝධී පනත යටතේ වරදක් කර ඇති බවය.
අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් කියන හැටියට මෙහි වරද කාගේද, කොතැනද යන්න දැන් හොඳහැටි පැහැදිලිය. පසුගිය කාලය තුළ මෙරටට ගෙන්වන ලද රථවාහන ආර්එම්වීයේ පිහිටෙන් ලියාපදිංචි කරන්නේ ශ්‍රී ලංකා රේගුවේ නිසිපරිදි නිෂ්කාශන කටයුතුද සිදුනොකරමින්ය. මීට පෙර පසුගිය කෝප් කමිටුවේදී ද අනාවරණය වූයේ ආර්එම්වීයේ නිලධාරීන් ඇතැම් වාහන මියගිය අයගේ නමින් පවා ලියාපදිංචි කර තිබූ බවය. යතුරු පැදි, අත්ට්‍රැක්ටර් රථවල පොත්වලට පවා සුඛෝපභෝගී රථවාහන ලියාපදිංචි කර තිබූ බව ද එහිදී අනාවරණය විය.
කෙසේ වුවද පසුගියදා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට පත්වන ආර්එම්වීයේ හිටපු කොමසාරිස්වරයා ඇතුළු අනෙකුත් සැකකරුවන් තිදෙනා සිදුකළා යැයි කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙන් ලියාපදිංචි වූ වාහන සම්බන්ධව සිදුකෙරෙන විමර්ශනයට අදාළව කරුණු අල්ලස් කොමිසම අධිකරණයට දැන්වූයේ මේ ආකාරයට ය.
එහිදී ටොයෝටා වර්ගයේ ජීප් රථයකට අදාළ අංක තහඩුව නිකුත් කිරීමට අනුමැතිය ලබාදීම සම්බන්ධව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂ (නීති) අනූෂා සම්බන්ධප්පෙරුම මහත්මිය මෙසේ කීවාය.
“ස්වාමීනී, ලංකාවේ වාහනයක් ලියාපදිංචි කිරීමේදී නිසි ක්‍රියා පිළිවෙතක් තිබෙනවා. වාහනයක් ලියාපදිංචි කිරීමේදී ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනයේ ටැක්ස් ෆයිල් එකක් ඕපන් වෙනවා. මෙම ටොයෝටා වර්ගයේ වාහනය ලියාපදිංචි කිරීම ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනය ප්‍රතික්‍ෂේප කරනවා එහි මුල් ලියාපදිංචියක් සිදුවෙලා නැති නිසා. සිද්ධියට අදාළ විමර්ශන කටයුතු 2018 වර්ෂයේදී ආරම්භ කරනවා. එතකොටත් මේ වාහනය තියෙන්නේ ජපානයේ. අනෙක ජපානෙ තියෙන වාහනයකට 2002 වර්ෂයේදී මුල් ලියාපදිංචියක් සිදුවෙන්න බැහැ කියලා දැන් පැහැදිලි වෙනවා. මේ වාහනය පමණක් නොවෙයි. වාහන 52ක් ලියාපදිංචිය ලබාදීමට ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනය ප්‍රතික්‍ෂේප කරලා තිබියදී තමා මෙම සැකකරුවන් මෙලෙස ක්‍රියාකර තිබෙන්නේ.
ස්වාමීනී, මුල් ලියාපදිංචියක් සිදුවෙලා නැති නිසා මුල් පිටපත් අස්ථානගත වෙලා කියලා සඳහන් කරනවා. මොවුන් අනීතික ලෙස කටයුතු කරලා තිබෙනවා. මෙහි පළමු සැකකරු දත්ත පද්ධතිය සම්බන්ධයෙන් වගකිව යුතුයි. සොෆ්ට්වෙයා බේස් යටතේ විශාල කාර්යභාරයක් සිදුවෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය කරන පුද්ගලයන්ට තම කාර්යය කිරීමට අවශ්‍ය මුරපදයක් ලබාදී තිබෙනවා. ඒක ක්‍රියාත්මක වන්නේ Software base එකට අනුව තමාගේ කාර්යය කිරීමට පමණයි. පළමුවැනි සැකකරුට ඩේටා බේස් එක යටතේ ලබාදී තිබෙන මුර පදයට වෙනත් අයට ඇතුළු වෙන්න බැහැ. සැකකරු වෙනත් අය ළඟත් මුරපද තිබෙනවා යැයි පැවැසීම චෝදනාවෙන් බේරීමට කරන උපක්‍රමයක්.”
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අනූෂා මහත්මිය මෙසේද අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
“මෙවැනිම සිද්ධියකට අදාළ නඩුවක් මහාධිකරණයේ විභාග වෙනවා. එය සිදුකර තිබෙන්නේ එක් පුද්ගලයකු නොවෙයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හත්දෙනෙක් එකතු වෙලා තමයි ඒක කරල තියෙන්නේ. ස්වාමීනි මෙම සිද්ධියත් එක් අයකුගේ ක්‍රියාවක් නොවෙයි ජාලයක් එකතුවෙලා කරන ලද ක්‍රියාවලියක්.”
එකී සිද්ධිය පිළිබඳ වැඩිදුර කරුණු දැක්වූ ඇය අධිකරණයට කියාසිටින්නේ access international ආයතනය මුල් ලියාපදිංචිය නොමැති වාහනවලට අංක තහඩු ලබාදීම ප්‍රතික්‍ෂේප කර තිබියදී මෙම සැකකරුවන් වංචනික ලෙස ක්‍රියාකොට ඇති බවය.
“ස්වාමීනී ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනය ප්‍රතික්‍ෂේප කර තිබියදීත් වාහන පනස් එකකට අංක තහඩු නිකුත් කිරීමට මොවුන් නියෝග ලබාදෙනවා. මේ විදිහට ක්‍රියාකරන්නේ තමන්ගේ බලය පාවිච්චි කරලා රජයට විශාල පාඩුවක් සිදුකිරීමට. ස්වාමීනී, දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරමින් මෙම වාහන 52 සඳහා අංක තහඩු නිපදවීමට ව්‍යාජ පුද්ගලයාගේ ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. පළමු වැනි සැකකරු විසින් තුන්වැනි සැකකරුට අංක තහඩු නිකුත් කිරීමට නියෝග කර තිබෙනවා.
මෙම වාහනය පමණක් නොවෙයි. මුල් ලියාපදිංචිකරුවන් නොමැති වාහන 117ක් ටොයෝටා, මොන්ටෙරෝ වැනි සුඛෝපභෝගී වාහන ආනයනය කරමින් රජයට කෝටි තුනයි ලක්‍ෂ විසිදෙකක පාඩුවක් සිදුකර තිබෙනවා. ස්වාමීනී මෙම සිද්ධියට අදාළ වාහන පහළොවක් අධිකරණ අනුමැතිය ලබාගෙන මේ වනවිට රේගුවට ඉදිරිපත් කර තිබෙනවා.
මෙම සිද්ධියේ තවත් සැකකරුවන් සිටිනවා. මොවුන් මේ ක්‍රියාවලිය කරන්නේ ජාලයක් වශයෙන්. එම නිසා යුක්තිය ඉටුකරන්න මොවුන් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන්න කියලා මම ඉල්ලනවා.” අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අනූෂා සම්බන්ධප්පෙරුම අධිකරණයට කියා සිටියේ එවැනි කතාවකි.
ආර්එම්වී වංගු ගැහිල්ලෙන් රජයට අහිමි වූ කෝටි 140
පසුගිය කාලයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කෝපා කමිටු විමර්ශන රටේ වැඩි දෙනකුගේ අවධානයට ලක්විය. එම කමිටුවේදී ආර්එම්වීයේ නිලධාරීන්ව දෙවතාවකදීම කෝපා කමිටුව හමුවට කැඳවුවද “හරි උත්තරයක්” ගලපාගන්නට ආර්එම්වීයේ නිලධාරීන් අසමත් විය.
එහිදී හෙළිවන්නේ මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව නිසි අයකිරීම් නොකර වංචනික ලෙස මෝටර් රථ හා යතුරුපැදි ලියාපදිංචි කිරීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 140.635ක් අහිමිවී ඇති බවය. තවද එහිදී කමිටුවේ දැඩි අවධානයක් යොමුවන්නේ වංචනිකව මෙරටට ආනයනය කරන ලද වාහනවල එන්ජින් අංක හා චැසි අංක ඉන් පෙර ලියාපදිංචි කළ වාහනවල චැසි අංක හා එන්ජින් අංක වෙනුවට ඇතුළත් කර වංචනික ලෙස මෝටර් වාහන ලියාපදිංචි සහතික නිකුත් කිරීමෙන් රුපියල් බිලියන 1.2ක මුදලක් රජයට පාඩු සිදුකිරීම ගැනය.
කැබිනට් අනුමැතියකින්ද තොරව හා ලියාපදිංචි කිරීමට අවශ්‍ය නීතිමය ලිපිලේඛන නොමැතිව යතුරු පැදි 3,088ක් ලියාපදිංචි කර ඇති බවද එහිදී අනාවරණය විය. තවද යතුරු පැදි 296ක් නියමිත ගාස්තු අය නොකර ලියාපදිංචි කිරීම නිසා රජයට රුපියල් කෝටි අටකට ආසන්න පාඩුවක් සිදුව තිබුණි. එසේ ලියාපදිංචි කර ඇත්තේ එන්ජින් ධාරිතාව 201 සිට 450 කාණ්ඩයට අයත් යතුරු පැදි තොගයකි. එපමණක්ද නොවේ, භාවිතයට නොගත් හිස් අංක සඳහා වංචනිකව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කර තිබීම හේතුවෙන් රජයට මිලියන 6.2ක පාඩුවක් සිදුව ඇති බවද අනාවරණය වී ඇත. විදේශ රාජ්‍ය තාන්ත්‍රික වාහන අංක යටතේ වෙනත් වාහන ලියාපදිංචි කිරීම හේතුවෙන් රුපියල් කෝටි 12.2ක පාඩුවක්ද සිදුව ඇති බව විගණනය මගින් හෙළිකර තිබුණි.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019 වසරේ පැවැති කෝපා කමිටු රැස්වීම්වලදී ලබාදුන් නියෝග අනුව මෙහිදී රේගු පරිගණක පද්ධතිය සමග සම්බන්ධවීමටත් ප්‍රථම සිදු වූ අනීතික වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධව අදාළ දෙපාර්තමේන්තුව මගින් අදාළ නිලධාරීන්ට එරෙහිව කිසිදු විනය පියවරක් නොගැනීම සම්බන්ධයෙන් ද පසුගිය කාරක සභාව දැඩි අප්‍රසාදය පළ කළේය. එහිදී කෝපා කමිටුව කියාසිටියේ ඉදිරිපත් කර ඇති වාර්තා සම්බන්ධව කිසිසේත්ම සෑහීමකට පත්විය ද නොහැකි බවකි.
අවුල් වී ගිය නූල් බෝලයක් මෙන් පැටලී ඇති ආර්එම්වී යේ පසුගිය කාලය මුළුල්ලේම සිදු වූ අක්‍රමිකතා දැන් එකින් එක ලිහෙමින් ඇත. අප මේ කියන ආයතනය සම්බන්ධව ද තවත් එකී නොකී කරුණු ද බොහෝය. මේ කතාවේ කවුරුත් ඇසිය යුතු තැන මෝටර් රථ කොමසාරිස්වරයා ඇතුළු අනෙකුත් පුද්ගලයින් රක්‍ෂිත බන්ධනාගාරගත වීම පමණක්ම නොවේය. පසුගිය කාලය තුළ ආර්එම්වීයේ සිදු වූ එකම එක නීති විරෝධී වංචාව ද මෙය නොවන අතර තවත් බොහෝ වංචාවන් එහි සිදු වූ බව පසුගිය කාලයේ වාර්තා විය. ඒ අනුව එවැනි වංචාවන්ට සහභාගි වූ නිලධාරීන් තවත් බොහෝමයක් සිටින්නේ නිදැල්ලේ ය. වාහන සම්බන්ධව සිදුකළ ආර්එම්වීයේ තවත් බොහෝ වංචාවන් රැසක් ඉදිරියේදී හෙළිවීමට ද නියමිතය.
රමින්ද මාවතගේ