මට්ටි ප්‍රෝටීන් බහුල ඉතා රසවත් ආහාරයකි. ශ්‍රී ලංකාවේ එතරම් ජනප්‍රිය ආහාරයක් නොවුණ ද බොහෝ රටවල මට්ටි ජනප්‍රිය ආහාරයකි. විවිධ ප්‍රමාණයෙන් හා විවිධ වර්ගවලින් මට්ටි යුක්තය. කිරිමට්ටි, දාරමට්ටි, කැලෑ මට්ටි හෙවත් කඩොල් මට්ටි හා කාවට්ටි යන වර්ග ලංකාවේ කළපු ආශ්‍රිතව දැකිය හැකිය.
මට්ටි තම්බා විවිධ ආකාරයෙන්ම රසවත් ආහාරයක් ලෙස පිළියෙල කරගැනීමට කටයුතු කරති. කුඩා ප්‍රමාණයේ මට්ටි සුප් සැකසීම සඳහා යොදා ගැනේ. විදේශිකයෝ විශාල වශයෙන් මෙම මට්ටි ආහාරයට ගැනීමට රුචිකත්වයක් දක්වති.

මට්ටි වර්ග මුහුදේ මෙන්ම කලපුවේ ජීවත්වන අතර බොහෝවිට මුහුදේ මට්ටි නෙළා ගැනීමේදී පවතින දුෂ්කරතාවයන් නිසා බොහෝ දෙනෙක් කලපු ආශ්‍රිතව ජීවත් වන මට්ටි නෙළා ගැනීමට කටයුතු කරති. පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම කල්පිටිය, මුන්දලම උඩප්පුව යන ප්‍රදේශවල කලපු තීරයේ විශාල වශයෙන්ම මට්ටි නෙළා ගැනීමට කටයුතු කරති. කල්පිටිය, කන්දකුලිය, ඉච්චන්කාඩුව නොගැඹුරු කලපුවේ මට්ටි ඇල්ලීමට කාන්තාවන් විශාල වශයෙන් යොමු වී තිබේ. ස්වාමියා වෙනත් රැකියාවක නිරත වෙද්දී කාන්තාවන්ද පවුලේ වගකීම ඔහුටම හේත්තු නොකර හැකි පමණින් තම දායකත්වය ලබා දෙන්නේ කාහටත් ආදර්ශයක් ගෙන දෙමිනි.
මට්ටි නෙළා ගැනීම පහසු කාර්යයක් නොවේ. ඔවුන් ජීවත්වන්නේ කළපු පතුල තුළයි. කාන්තාවන්ගේ සියුමැලි ඇඟිලි තුඩට මට්ටියා ස්පර්ශ වනතුරු ඔවුන් මඩ සහිත පතුල අතපත ගෑමට කටයුතු කරයි. ආයාසයෙන් සොයා ගන්නා මට්ටියා ගොඩට ගන්නේ මහමෙරක් හමු වූ ලෙසිනි. මෙලෙස අව්ව වැස්ස නොතකා දරු මල්ලන්ගේ කුස ගින්න නිවා දැමීමට වෙහෙස දරන කාන්තාවන්ගේ ජීවිත තුළින් කියා පාන්නේ ඉමහත් වේදනාත්මක කථාවකි.
මෙසේ දැඩි වෙහෙසක් දරා නෙළාගන්නා මට්ටි තොගයට ඔවුන්ගේ මනදොළ පිනවන මිලක් කිසිදා නොලැබෙන්නේ අතරමැදියාගේ සොච්චම් මුදලේ තීරණය නිසාය.
කලපුවේ වැලි සමග ඇති මඩ තැරිය දෑතේ ඇඟිලිවලින් අතගා ගොඩට ගන්නා මට්ටි එකතු කර පන පිටින් ගිනියම් වූ ජලයේ දමා තම්බා කටු අතරින් ගෙන මෙසේ අලෙවි කරන්නේ එහි පව පින ගැන නොසිතාය.
කන්දකුලිය ඉච්චන්කාඩුව කලපුවේ මෙලෙස දෛනිකව මඩ පීරමින් මට්ටි සොයා වෙහෙසෙන කාන්තාවන් 50 කට ආසන්න පිරිසකි.
සුන්දර දසුන් මවන කලපු තීරයේ පවතින සුන්දරත්වය මට්ටි සොයා වෙහෙසෙන කාන්තාවන් තුළ නොමැති බව පසක් වන්නේ කදුළු බිඳු සැඟවූ දෑස් විවර කළ අපට කියන වදන්වලිනි…

ඉනෝකා සන්ධ්‍යා කුමාරි
“මම දන්න කාලේ ඉඳලා තමයි මට්ටි අල්ලන්න කලපුවට එන්නේ මගේ මනුස්සයා නැහැ. දරුවන්ගේ දරුවෝ හය දෙනෙක් බලන්නේ මම. එක දුවෙක්ගේ දරුවෝ තුන්දෙනෙක් ඒ දුව බැඳලා හිටපු පුතා ගස් කපන රස්සාව කළේ ගහ උඩ නැගලා අතු කපද්දි බඩ කැපිලා රෝහල් අරන් ගිහාම මැරුණා දැන් ඒ දරුවන්ටත් කන්න දෙනවා.
ලැබෙන මුදල මදි දවසට එක වේලක් තමා අපි කන්නේ. මොනා කරන්නද වෙන මොනවත් කරන්න දෙයක් නැහැ. ඒකයි කලපුවට බැස්සේ.
මංගලිකා කුමුදුනි ප්‍රනාන්දු…
“අපිට කන්දකුලියෙ වෙන කරන්න රස්සාවක් නැහැ. ඒ නිසා තියෙන එකම දෙය මේ කලපුවේ බැහැලා මට්ටි අල්ලන එක. අපි හිතකින් කරන්නේ නැහැ. පවුල් පිටින් සමහර අය අල්ලනවා සමහර දවසට දරුවොත් එනවා. ඒ තරම් අසරණ පිරිසක් අපි. මේ තමයි අපි ඉරණම කියලා හිතාගෙන කලපුවට බහිනවා වෙන මොනවා කරන්නද.
65 හැවිරිදි මවක් වූ මේරි පිලමිනා…
“මට කරන්න කිසිම දෙයක් නැහැ. වෙන රස්සාවක් කරන්නත් බැහැ. මාව බලාගන්න කිසිම කෙනෙකුත් නැහැ. හිටපු පුතාත් අවුරුදු තුනේදි අසනීප වෙලා නැතිවුණා. මනුස්සයාත් නැහැ. දන්න කාලයෙ ඉඳලා මම මාළු වාඩිවලයි මාදැල්වල මාළු එකතු කරලයි තමයි ජීවත් වුණේ. කලපුවේ මඩ අස්සේ අත දාගෙන මට්ටි හොයද්දී වීදුරු කටු වෙන දේවල්වලට කකුල අතපය කැපිලා පුදුම වේදනාවක් දෙන්නේ. මොනවා කරන්නද අපි ගිය ආත්මවල පව් කරලා. ඒ මදිවට මේ ආත්මයෙදීත් පව් කරනවා…
එස්.ඒ. ගුණවතී…
“මට අවුරුදු 60 යි. මම ඇදුම ලෙඩෙක් කලපුවේ බැහැලා මේ විදිහට මට්ටි අල්ලපුහාම මට ඇදුම වැඩි වෙනවා. එකපාරක් මැරෙන්න ගිහින් යාන්තමට බේරුණා. දොස්තර මහත්වරු කිව්වා කලපුවේ ආයෙ බහින්න එපා කියලා.ඒ වුණාට කවුද අපිට කන්න දෙන්නේ මොනා කරන්නද…
මේ කාන්තාවන් ජීවත් වන පරිසරයද එහි නිවාසද ඇත්තේ තාවකාලික ලෙස සැකසූ ඒවාය. ඔවුන්ට ස්ථිර නිවසක් ඉදි කර ගැනිම සිහිනයක්ය. ඔවුන් දිවි ගෙවන පරිසරය තුළ මූලික පහසුකම් කිසිවක් නැත. අඩුම තරමින් සෞඛ්‍යාරක්ෂිත වැසිකිළි පහසුකමක් හෝ ඇත්තේ කීපදෙනකුට පමණි.
මෙවැනි මිනිසුන් වෙනුවෙන් යම් මෙහෙවරක් කරන්නට හැකි පිරිස් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් හෝ ජීවත් වෙන්නට මගක් සකසා දෙන්නේ නම්…!
අමරනන්ද විජේසේකර – මහවැව