අතීතය අපූර්ව කියැවීමකි. මෙයද එවැන්නකි. 1956 මේ රටේ දේශපාලන පෙරළියක, පුරෝගාමියා වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක අගමැතිතුමන් ආසියාවේ රිදී සීනුව යන විරුදාවලිය ද ලද්දේය. එතුමන් ශ්‍රී ලංකාවේ සිව්වන අගමැති පදවියට පත්වීමට පෙර දේශපාලනය ඇරඹුවේ ඩී. එස්. සේනානායක අගමැති තුමන්ගේ රජයේ පළාත් පාලන ඇමැතිවරයා ලෙසිනි. ධනවත් පෙළපතක සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහ මුදලි තුමන්ගේ හා එම මැතිනියගේ පුත්‍ර රත්නයක වූ ඔහු තරුණ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරද්දී ගත කළ ජීවිතය පිළිබඳ අපූර්ව කියැවීමකි මේ.
එදා මුද්‍රිත මාධ්‍යයෙන් පළ වූ බොහෝ දේ අනාගත පරම්පරාවට හා වර්තමානයට ලබාදෙන අපූර්වත්වය ඇතැම් විටක විචිත්‍රවත් වූ ගුප්ත ජීවිත අත්දැකීම් ද අප ඉදිරියේ තබන්නට සමත් වෙයි. ඉතා පැරණි පුවත්පතක පළවූ හෙළිදරව් කිරීමකින් එහිලා අපට කියවා ගත හැකි වූ එවන් කරුණු සමහරක් මෙලෙස අද පාඨක ඔබ ඉදිරියේ අපි තබමු.
ශ්‍රී බුද්ධ වර්ෂ 2480 බිනර මස අටවැනිදා ප්‍රකාශිත ‘සරසවි සඳරැස’ හා ‘සිහල සමය’ පුවත්පතේ මෙම අනාවරණය කර තිබුණේ එවක දේශපාලනයේ ඇමැතිවරයකු වශයෙන් සිටි දිවංගත අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා පිළිබඳවය. බණ්ඩාරනායක මහතා හමුවීමට ‘සරසවි සඳරැස’ හා ‘සිහල සමය’ පුවත්පතේ නියෝජිතයකු ගොස් තිබේ. එවක අවිවාහක තනිකඩ ජීවිතයක් ගත කළ බණ්ඩාරනායක මහතා පිළිබඳව ඔහු ඇසූ දුටු අත්දැකීම් විස්තර කර තිබුණේ මෙපරිද්දෙනි. අප එම කරුණු පුවත්පතේ එකල පළ වූ බස්වහරින්ම පළ කරනුයේ එකල පුවත්පත් මාධ්‍යයේ තිබූ භාවිත කළ භාෂාවේ ස්වභාවය පිළිබඳව ද ඉන් යම් අත්දැකීමක් ඔබට ලබාගත හැකිවන හෙයිනි.
පළාත් පාලනය පිළිබඳ ඇමැතිවරයා වන සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මහතා නොයෙක් මත පළ කරන බිරිඳක්, හිරිහැර කරදර කරන දරුවන් හෝ නොමැතිව කොළඹ උඩුගහවලව්වේ ගෘහමූලිකයා මෙන් වැජඹෙයි.
මේ තනිකඩ ජීවිතය සැපදායක හැටියට එතුමා සලකන්නේය. කොළඹ පරණ ගෙවල් අතුරෙහිලා උඩුගහවලව්ව ඉතා පරණය. ඕලන්ද කාලයේ පටන් එය පවතී. ඒ කාලයේ දී මේ පළාත ධනවතුන්ගේ වාසභූමිය වූ නමුත් දැන් එය වෙළෙඳුන්ගෙනුත් දුප්පත් ජනයාගෙනුත් ආකීර්ණ වන ස්ථානයකි.
ස්වදේශ කටයුතු අමාත්‍ය තුමාගේ මෙන්ම මෙතුමාගේ ද ජන්ම භූමිය සියනෑ කෝරළය වේ. ස්වකීය පළාතෙහි මෙන්ම තවත් පළාත්වල දුප්පත් ජනයාට පහසුවෙන් පැමිණිය හැකි වූ ද තමන්ගේ සැප පහසුව ද අදාළ වූ බැවින් ද බණ්ඩාරනායක මහතා මේ ගෙයි විසීමට කැමති වේ. ඉතා උදෑසන පටන් දුප්පත් ජනයා මෙතුමා හමුවීමට වැල නොකැඩී පැමිණේ. කොළඹ කුරුඳුවත්ත මහ මන්දිරයකට වඩා වෙනස පරණ මෝස්තරයක පිහිටි මේ ගොඩනැඟිල්ලේ මේ මහතා අතිශය සන්තෝෂයෙන් වාසය කළේය.
දිගු පළින් වැඩුණු වෘක්ෂ ගහනයෙන් සුපෝෂිත වූ විශාල උයනක් මෙහි තිබේ. මෙයින් ලැබෙන සිසිල් සෙවණ නිසා මැඳුරක සිට සේවය කිරීමට විටෙක විවේක සුවය ද ප්‍රීතිය ද සැපතකි. මේ පරණ මන්දිරය සියක් වසරකට පෙර පැවතියේ යම් සේ ද තවමත් එසේය.
විශාල වූ වලව්වේ එක් කාමරයක් නිදන්නටත් තවත් එකක් වැඩ කරන්නටත් මේ මහතා සූදානම් කරගෙන සිටී. නිදන්නට තැනකුත් ඉඳගන්නට තැනකුත් ඇත්නම් මේ මහතාට බඩු බාහිරාදියෙහි ලක්ෂණයක් අවශ්‍ය නොවේ.

මෙතුමාගේ විශේෂ විනෝදය පොත්පත් කියැවීමය. ජේම්ස් ද අල්විස් මැතිතුමාගේ හා සර් ක්‍රිස්ටෝපල් උබේසේකර මැතිතුමාගේත් පුස්තකාලය බණ්ඩාරනායක මහතාට හිමිවී තිබේ. විවිධාකාරවූ ශාස්ත්‍ර විෂයන් පිළිබඳව වූ පොත් රැස්කර තිබෙන අල්මාරි 80 කි. බණ්ඩාරනායක මහතා දැන් ඒ පොත්වල නාමලේඛනයක් සකසා ගෙන යයි. ගෙට ඇතුල් වූ තැනම ඇත්තේ ඇමැති ගුහාවය. ‘ගුහාවක්’ යැයි කියනුයේ එය ‘ගුහාවක’ ස්වරූපයෙන්ම දක්නට ඇති හෙයිනි. එම ගුහාවේ පුටුවක බණ්ඩාරනායක මහතා වාඩි වී සිටී. පයිප්පයක් ද උරයි. මීහරකුගේ හිසක් ද ඇතකුගේ හොඬක් ද ගුහාවේ දක්නට වෙති. ඒ හැර ටෙනිස් ක්‍රීඩාවෙහි දක්ෂතාව නිසා එංගලන්තයේ දී හා ලංකාවේ දී දිනාගත් රිදී කුසලාන ද වෙති.
දඩයම් කිරීමෙහි නිර්භීත ගති ඇති මේ මහතා විසින් මෙම මී හරකා මරන ලද්දේ යාල කැලයේදීය. ඌ දඩයක්කාරයා එළවන්ට ද නැතහොත් කැලේ දුවන්නට දැයි සිතමින් සිටින අතර බණ්ඩාරනායක මහතා දණ බිමගසා උගේ බෙල්ල පසාරු කරගෙන යන්නට වෙඩි තැබුවේය. ඒ මී හරකාගේ හිස බිත්තියේ ඉහළ සවිකර තිබෙනු දැකිය හැකිය. ඒ මහතා වෙඩි තැබූ හස්තියා පලටුපානේ ගොවිතැන් පාළු කරමින් හා මිනිසුන් බියට පත්කළ වල් අලියෙකි. රුපියල් 10 ක් ගෙවා බලපත්‍රයක් ගෙන කැලයට ගොස් ඒ මහතා ඌට වෙඩි තැබීය. මෙතුමා දැන් දඩයමේ යෙදෙන්නේ නැත. එය අලියාගේ හොඬ වේලාගෙන මේ නිවසේ අලංකාර ලෙස තිබෙනු පෙනෙයි. ඇමැති වීමට පෙර වනයේ ඇවිද එවන් නිර්භීතකම්වල යෙදුණ ද දැන් දඩයමේ නොයන ඒ මහතා දැන් එලෙස යන්නේ නම් තුවක්කුව වෙනුවට ඡායාරූප යන්ත්‍රයක් ගෙන යනු නියතය.
සාහිත්‍ය, කාව්‍ය, නවකතා, ආර්ථික ශාස්ත්‍රය දේශපාලනය පිළිබඳව යනාදී කරුණු පිළිබඳ ග්‍රන්ථ මේ මහතාට තිබේ.
රෑ කෑමෙන් පසු නින්දට ගොස් බණ්ඩාරනායක මහතා පොත් කියවයි. පොත් කියැවීමෙන් මෙසේ විනෝද සුවයේ යෙදී නින්දට යයි. පාන්දර 6.00 ට පමණ අවදිවන හෙතෙම තමා හමුවීමට පැමිණ සිටින්නා වූ නොයෙක් තරාතිරමේ ජනී ජනයා සමග කතාබහේ යෙදේ.
ඊට පසු උදේ ආහාර වශයෙන් කැඳ ද බේකන් (ලුණු ඌරු මස්) හා බිත්තර ද දොඩම් ද ඇපල් හෝ ගස්ලබු ද අනුභව කරයි. ඉන් ඉක්බිතිව මන්ත්‍රණ සභාව පවතින දවසක් නොමැති වෙයි නම් කන්තෝරුවට යන්නේය.
තමාට අයිති යම් යම් වැඩ නිමවා තේ කෝප්පයක් බීමට ගෙදර පැමිණේ. ගෙදර අවුත් මිත්‍රයන් හා අල්ලාප සල්ලාපයේ යෙදීමෙන් හෝ ඔරිසන්ට් ක්ලබ් සමාජයට ගොස් ටෙනිස් ක්‍රීඩා කරමින් සවස් කාලය ගත කරයි. සවස් කාලයේ ආණ්ඩුවේ වැඩවල යෙදීමට හෝ යම් යම් අය හමුවීමට සිදුවන බැවින් දැන් දැන් ටෙනිස් ක්‍රීඩාවෙහි නිරත වන්නට ද ලැබෙන්නේ කලාතුරකින් බව බණ්ඩාරනායක මහතා කියන්නේය. රාත්‍රී භෝජනය රාත්‍රී 8.00 ට ගත් පසුවද මඳ වේලාවක් ගත කරනුයේ ද පොත් කියැවීමටය.
බාල කාලයේ මහත් සැප සම්පත් තිබුණ නමුත් ඒ සියල්ල අතහැර දමා ඉතා චාම් ලෙස අද ජීවත් වන මේ මහතා තමාට හුරුපුරුදු සැප අත්හැරීම ගැන මොහොතක්වත් කනගාටු නොවෙයි.

පොදු ජනයාගේ යහපත පිණිසම මෙහෙ කරන මේ මහතා තමා දැනට යම්කිසි දියුණුවක් ලබා සිටී නම් ඊට හේතුව පරහිතභාවය යැයි සලකන්නේය. සොලමන් ඩයස් බණ්ඩාරනායක මැතිතුමාගේ පුත්‍රයකු කෙරෙහි මේ ගුණය පිහිටීම විශිෂ්ට ලක්ෂණයකි. නොයෙක් පළාත්වලින් එන දුප්පත් ජනයා හමුවීමට මැලි නොවන මේ මහතා ඕනෑම හැකි වේලාවක කන්තෝරු කාමරයේ දී ඔවුන් හා කතාබස් කරති. බොහෝ විට දිළිඳු ජනයා සමග හවුලේ තේ පානය කරනු ද දක්නට ලැබේ. තමන්ගේ කටයුතුවලට විරුද්ධවීමට භාර්යාවක් හෝ වෙනත් කිසිවකු ද නැති බැවින් කැමති පරිදි ජනයාට සංග්‍රහ කිරීමට නිදහස ද තිබේ. ස්ව දේශපාලන කොමසාරිස් කෙනකු බඳු බිරිඳක් පත්වනතුරු සර් සොලමන් ඩයස් මැතිතුමාගේ මේ එකම පුතණුවෝ පොතපත කියැවීමෙන් හා දුම් පයිප්පයක් උරමින් ද නිදහස් සැපත භුක්ති විඳිති.
බණ්ඩාරනායක මහතා ලඝු ආහාර ගන්නෙකි. ආහාරය ලඝු වූ තරමට තමන්ට හොඳට මෙහෙ කරන්නට හැකි බව මෙතුමා දනී. මෙය වනාහි ඒ මහතාගේ මිත්‍ර සර් ඇල්ඩෝකැස්ටලානි මහතාගෙන් ඉගෙන ගත් ගුරුකමකි. කැස්ටලානි මහතා දවසකට පැය 18ක් පමණ මෙහෙකරන නමුත් ආහාර අනුභව කරනුයේ දෙවේලක් පමණකැයි ද කියති. නැටුම් ගැයුම් ද සිනමා දර්ශන ද විවේක ලැබෙන විට නැරඹීමට ද මේ මහතා අමතක නොකරන්නේය.
කලිසම් කෝට් ඇඳීම කළ ද දැන් දැන් ඒ මහතා ප්‍රිය කරනුයේ අපේ රෙද්ද බැනියම ද අඳින්නටය. ඒ සඳහා තමන්ගේ ගම් පළාතේ වියාගන්නා ලද රෙදි ඇඳීමට වෙහෙසක් ගනී. මන්ත්‍රණ සභාව හැර ප්‍රිය සම්භාෂණවලට යන විට බණ්ඩාරනායක මහතා කලිසම් කෝට් අඳී. උඩුගහවලව්වේ වෙසෙන සුරතල් බලු පැටවුන් දෙදෙනෙක් මෙතුමාගේ සුරතල් සහචරයෝය. මොවුන් දෙදෙනාගෙන් ‘ටින්කෝ’ නමැති බලු පැටවාට ඇමැතිවරයා අතිශයින් ප්‍රියා කරයි. මීට අවුරුද්දකට පෙර පවත්වන ලද සුනඛ ප්‍රදර්ශනයේ දී එම බලු පැටවා තෑග්ගක් ද දිනා ගත්තේය. බණ්ඩාරනායක මහතා ඉතා අගය කොට සලකන කරුණු දෙකකි. එකක් නම් ස්වභාවධර්මය අනුසාරයෙන් සැලසෙන ප්‍රීතිය භුක්ති විඳීම පිණිස ප්‍රත්‍යන්නාශය ලැබීමය. අනික තමන් සේවය කරන ජනයාගේ සුවදුක් විමසීමය.
‘ගුහාවක් තුළට වැදී පොත්පත් කියවන ඇමැතිවරයා’ යන ප්‍රධාන සිරස්තලයෙන් හා ‘කුමාර ලීලාවෙන් කල් යැවිය හැකි තරුණ බණ්ඩාරනායක මහතා හිමිදිරියේ නින්දෙන් අවදිව දුප්පතුන්ගේ සුවදුක් විචාරයි’ යන අනු සිරස්තලයෙන් ද යුක්තව පළවී තිබිණි.
එවක ලේඛකයකු වූ ඩී.ඇන්.ඩබ්ලිව් ද සිල්වා විසින් මෙම ලිපිය සරසවි සඳරැස ට ලියා තිබුණි. ඒ ඇසුරන් මෙම සැකසුණි.
නාරද