ඊශ්‍රායලය මෙන්ම ඉරානය ද බල දේශපාලන ෂයිලොක්ලා බව ලොවට තහවුරු කරද්දී අපේ රටේ දේශපාලන සංස්කෘතියේ අශ්ලීල හා ග්‍රාම්‍ය ස්වරූපය ද අපට දැක බලා ගත හැකිය. ලෝක බලවතා යන මමංකාරයෙන් මානව ශිෂ්ටාචාරයේ බිහිසුණුම ඛේදවාචකයක් නිර්මාණය කිරීමට දරන ප්‍රයත්නය නිසැකයෙන්ම හෙළා දැකිය යුත්තකි. එසේම මනුෂ්‍යත්වයට උරුම දයාර්ද්‍ර බව පරිත්‍යාගශිලීත්වය වෙනුවට හෘදය මාංශයම ඉල්ලන ඉරානය ද සිය මුග්ධත්වය වීරත්වය කැයි යන මුළාවෙන් දක්වන ප්‍රතිචාර හා වහසිබස් ද අනුමත කළ නොහැකිය. කුමක් වුවත් අදත් බටහිර දේශපාලනයම මේ සියලු විනාශයන්ට සහාය දක්වන ශාපකාරී යුදවාදයට ආශිර්වාද කිරීම ද දැඩි පිළිකුළෙන් හෙළා දැකිය යුතුය. හිටපු ජනාධිපතිවරයකු වන රනිල් වික්‍රමසිංහ ඍජුවම පවසා ඇත්තේ ඊශ්‍රායලයට සහාය දෙන ඨ7 සමුළුවේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ යුතු බවය. රනිල්ගේ එම ප්‍රතිචාරය රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හි වැල්ඩායි සාකච්ඡාවකදී දැක්වීම නිසා එහි බර තවත් වැඩිවී තිබේ.
අපට මේ පිළිබඳව අවධානය යොමු කිරීමට සිදු වූයේ ද මේ විනාශකාරී යුද්ධයට අතවනන දුෂ්ට බලවතුන්ගේ අමන ක්‍රියාකාරකම් අපේ මේ පුංචි රටට ද අහිතකර බලපෑම් කරන හෙයිනි. දැනටමත් ඉන්ධන පිරවුම්හල් හිස්කර ගෙවල්වල ගබඩා කර ගැනීමේ ප්‍රයත්නයන් ගැන ද වාර්තා වේ. ආණ්ඩුව එයට සාධනීය ප්‍රතිචාරයක් දක්වමින් තෙල් බැරල් හා බූලිවලට ඉන්ධන ලබාදීම නවත්වන ලෙස ද දැනුම් දී ඇත. මේ අතර මාධ්‍ය වාර්තා කර තිබුණේ ඊශ්‍රායල ඉරාන ගැටුම පිළිබඳව විවාදයක් ඉල්ලූ විපක්ෂයට ඒ අවස්ථාව අහිමිවී ඇති බවය. මෙය අප තුළ ද විවිධ ප්‍රශ්න මතු කරයි. පාර්ලිමේන්තුවේ දී විපක්ෂය මේ විවාදය ඉල්ලා ඝෝෂා කළ අයුරු ද රූපවාහිනී සජීවී විකාශයෙන් දුටු අය ද සිටිති. ඒ දුටු අයට මෙය මාධ්‍ය සංදර්ශනයක් දැයි සාධාරණ කුතුහලයක් ද ඇති විය හැකිය. එහෙත් මේ රටේ උත්තරීතර ආයතනය විවේචනය කළේ යැයි ඇතැම් විට උන්නැහෙලා වරප්‍රසාද කෙවිට ගන්ට ද බැරි නැත. අනේ දෙවි හාමුදුරුවනේ අපට එබඳු ඔළුවේ කැක්කුම් නැත. හුදී ජනතාව වන අපෙන් පරමාධිපත්‍ය බලය ඉල්ලා ගත් දේශපාලනඥයෝ සිය වගකීම් ඉටු නොකරත් නම් අපට ඉවසා සිටීමට ද සිදුවන අතර ඒවාට ප්‍රතිචාර දැක්වීම ජනතාව ද ඊළඟ ඡන්දය තෙක් සිටිය යුතු වෙති.

කෙසේ වුව ද කොළඹ පරාජයෙන් කුපිත වූ ස.ජ.බ. ප්‍රාදේශීය දේශපාලනය ද රූපවාහිනී ඔස්සේ ජනතාව බලා සිටියේ මහත්වරුන්ගේ සදාචාරය ගැන ද අවබෝධයක් ලබමින්ය. දේශපාලනයේ අරමුණ බලය බව අපි දනිමු. එහෙත් ඒ සඳහා අමනකම් ප්‍රදර්ශනය කළ යුතු නැත. කොළඹ බලය එ.ජා.ප.ය හා ස.ජ.බ.යට අහිමිවීම අතිශය වේදනාකාරී අත්දැකීමකි. එහෙත් ඒ බල අරගලය ශිලාචාර එකක් විය යුතුය. ස.ජ.බ.යේ ඇතැම් පිරිස් වෙඩි කෑ ඌරන් මෙන් ක්‍රියා කරතියි ද ඇතැම් මාධ්‍යවල දැක් වූයේ ජනවහරේ කතාවක් ද උපුටා ගනිමින් ය. ස.ජ.බ.යේ දේශපාලන ඇතුල් පැත්ත අපි නොදනිමු. එහෙත් ඔවුන්ගේ ඇතැම් පාක්ෂිකයන් පැවැසුවේ කොළඹ සටනට ඉහළ නායකත්වයෙන්, ලැබුණේ දියාරු සහායක් බවය. කොළඹ සටන මෙහෙය වූ මුජිබර්ගේ ක්‍රියාකාරකම් ගැන ද සමහරු විවේචනය කළහ. එහෙත් මුජිබර් ඒ සඳහා සිය උපරිම ශක්තිය යෙදූ බව අපගේ අදහසය. එසේම මරික්කාර් වැනි අයගේ ප්‍රතිචාර ද ප්‍රශ්නකාරී විය. කුමක් වුවත් මුජිබර්ගේ කලකිරීමත් චෝදනාත් දෙස බලද්දී අපට හැඟුණේ නැටුව තොවිලයක් නැති වුවත් බෙරේ පළුවක් නැති බවය. මේ සටනේ පරාජය එ.ජා.ප.යට දැනුනේ කෙසේ ද යන්නත් තවම අපැහැදිලිය.
කොළඹ දේශපාලනය කොළ පාට සමාජයේ හදවත බව ද නිසැකය. හැත්තෑ පස්වසරක්ම ඔවුන්ට තිබුණු කොළඹ කොළ බලකොටුව වමේ සන්නාමය සහිත රතු පක්ෂයකට අයත් වීම ඔවුහු කෙසේ දරා ගනිත්ද? මෙයට දසක කිහිපයකට පෙරත් එ.ජා.ප.ය කොළඹ පුටුව සඳහා සටන් කර ඇත. ඒ වමේ නායකයකු වූ ඇන්. ඇම්. පෙරේරා අත්කර ගත් පුටුව උදුරා ගැනීමටය. ඉතිහාසය පෙන්වන ආකාරයට එදා ඒ සටනට එවක දේශපාලනයේ කැපී පෙනුණු චරිතයක් වූ රණසිංහ ප්‍රේමදාස ද එක්වී ඇත. එහෙත් එ.ජා.ප.ය විසින් නගරාධිපති පුටුව ලබාදෙන ලද්දේ වී. ඒ. සුගතදාසටය. ප්‍රේමදාසට හිමි වූයේ නියෝජ්‍ය නගරාධිපති ධුරයයි. ප්‍රේමදාස යනු ප්‍රායෝගික දේශපාලන චරිතයකි. ඔහු ඒ බව තහවුරු කළේ කොළඹ ප්‍රභූ පැලැන්තිය පසුබස්වා මෙරටේ අගමැති ධුරයටත් අනතුරුව ජනාධිපති ධුරයටත් පත් වීමෙන්ය. අද එ.ජා.ප.ය කඩාගෙන කොළඹ දේශපාලනයේ නායකයා වී සිටින සජිත්ට සිය පියාගෙන් බොහෝ දේ ඉගෙනීමට ඇතැයි කියන්නේ ද රනිල්ගේ එ.ජා.ප.යේම සමහරුන්ය. කුමක් වුවත් 2006 වසරේදීත් යළිත් කොළඹ බලය එ.ජා.ප.යෙන් ගිලිහී ගොස් තිබිණි. එයට හේතු වූයේ එහිදී එ.ජා.ප. නාමයෝජනා ප්‍රතික්ෂේප වීමය. පසුව එ.ජා.ප.යට සිදු වූයේ ත්‍රිරෝද රථ රියැදුරකු විසින් නායකත්වය ලබාදෙන ලද ස්වාධීන කණ්ඩායමකට සහාය දීමටය. මේ ඉතිහාසයෙන් තහවුරු වන්නේ කොළඹ බලය සඳහා එ.ජා.ප.ය ක්‍රියාකර තිබෙන ආකාරයයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදීත් ඔහුගේ පක්ෂය කොළඹින් පැරදවීමට එ.ජා.ප.යට හැකි විය. එහෙත් මෙවර සිදු වූයේ ඛේදනීය පරාජයකි. පුංචි ඡන්දයේ දී කොළඹට එක්ව තරග නොකළ එ.ජා.ප.යටත් සජබයටත් ලබාගත හැකි වූයේ සභික ධුර 29ක් හා 13ක් පමණි. ඒ සියල්ල එකතු කළ විටත් ජා.ජ.බ.ය සිටියේ ඒ පක්ෂ දෙකටම වඩා සභික ධුර 06 ක් ඉදිරියෙනි. මෙහිදී ස.ජ.බ.ය නගරාධිපති ලෙස නම් කළ අපේක්ෂකයා පවා ජා.ජ.බ. අපේක්ෂිකාවට පරාජය විය. කෙහෙල්වත්ත කොට්ඨාසය ජය ගත්තේ ද පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ය. මෙවන් ප්‍රතිඵලයකින් එ.ජා.ප.ය හා ස.ජ.බ.ය හතර ගාතින් ඇද වැටීම ඔවුන්ට දරා ගත නොහැකි විය. ස.ජ.බ.යටත් එහි නායකත්වයටත් නිර්දය විවේචනයක් ප්‍රසිද්ධියේම නැඟූ එ.ජා.ප. මහ ලේකම් තලතා අතුකෝරළ විලියකින් තොරව යළිත් ස.ජ.බ. කණ්ඩායම සමග එකඟ වූයේද කොළඹ රැක ගැනීමටය. එපමණක් නොව පොදුජන පෙරමුණට හා ශ්‍රී ල.නි.ප.යට ද සිදු වූයේ ද සජිත්ලා සමග කඳවුරු බැඳීමට ය. කුමක් ද හේතුව? බලය! දේශපාලන බල ගිජුකමය. ස.ජ.බ.යේ තිස්ස අත්තනායක ද මේ බලය සඳහා ඒකාබද්ධ විපක්ෂයක් මවා පෙන්වීය. ඇත්තටම මේ සියල්ලන්ම එක කඳවුරක් ලෙස කොළඹ තරග කළේ නම් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීමට ද ඉඩ තිබුණි. එහෙත් අවසානයේ දී ජා.ජ.බ.ය මේ සියලුම කොටස් එකට පරාජය කර කොළඹ බලය ලබා ගත්තේය. ජා.ජ.බ.ය පරාජය කිරීමට ඔවුන් ගත් පියවර ආඳා මාළු ඉරටෙන් කෑමක් වැන්න. බලය සඳහා නයි.මුගටි එක කොටයකට නගින බව ජා.ජ.බ.ය පවසන ප්‍රසිද්ධ කතාවකි. එහෙත් ඒ විවේචනයට අද ජා.ජ.බ.ය ද ලක්ව සිටිනු පෙනේ. බල දේශපාලනය කෙබඳු සරදමක් දැයි ඒවා දකින ප්‍රබුද්ධ පුරවැසියන්ට ද පෙනේ.
කුමක් වුවත් දැන් ස.ජ.බ. පාර්ශ්වය චෝදනා කරන්නේ කොළඹ බලය ආණ්ඩුවට ලබාදීමට කොමසාරිස්වරිය ක්‍රියා කර ඇති බවටය. එහෙත් ස.ජ.බ.යේ සභිකයකු වූ රෝයි බෝගහවත්ත රහස් ඡන්දයක් සඳහා යෝජනා කළ බවක් ද මාධ්‍යවල පළ විය. එදා කොළඹ නිල බල තේරීම එහෙම පිටින්ම ගාලගෝට්ටියක් වූ අයුරු ඒ අවස්ථා සජීවී ලෙස විකාශය කළ රූපවාහිනි නාලිකාව නැරඹූ කව්රුත් දුටු දෙයකි. මුජිබර් රහුමන් ඉදිරිපත් කළ බව පවසන 61ක අත්සන් ලේඛනයක් ද විය. එය වේලාසනින් සූදානම් කර ගැනීම නිසා ඒ අත්සන් ගැන ප්‍රශ්නයක් ද මතු විය. අප තේරුම් ගත් ආකාරයට රහස් ඡන්දයකට යෑමට ඔවුන්ට සිදු වූයේ ද එනිසාය. එහිදී ස.ජ.බ.යේ සභිකයන්ට සභාවෙන් ඉවත්වීමට ද ඉඩ තිබුණි. එහෙත් ඒ විරෝධතාව ගැන ස.ජ.බ. නායකත්වයෙන් උපදෙස් නොලැබී තිබුණේ දැයි පැහැදිලි නැත. කුමක් වුවත් මේ ඇතුළාන්තය නොදැන හෝ අමතක කර කොළඹ පරාජයේ වේදනාව පළාත් පාලන කොමසාරිස්වරිය පිටින් යැවීමට ඔව්හු සූදානම් වෙත් ද? එය ඔවුන්ගේ වැඩකි. එහෙත් තවත් ප්‍රාදේශීය සභාවල ස.ජ.බ.යේ සභිකයන් විසින් ජා.ජ.බ.යට සහාය දක්වන ලද බව ද වාර්තා විය. එබඳු එක් ස.ජ.බ. සභිකයකුට සා.ජ.බ.යේ ම තවත් පිරිසක් අතින් පයින් පහර දුන් ආකාරය ද මාධ්‍යවලින් දැක ගත හැකි විය.
ස.ජ.බ. නායකයන් ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන සදාචාරය ගැන කතාකරද්දී ඔවුන්ගේම ප්‍රාදේශීය දේශපාලනය මැරයන් හෝ රස්තියාදුකාරයන් අතට පත්වී තිබේ නම් එය බරපතළ කරුණකි. පක්ෂයේ තීරණවලට පටහැනි වූ අයට ක්‍ෂණිකව ප්‍රතිචාර දක්වා ඔවුන්ට වාරණ තහංචි දුමන නායකයන් මේ මැරයන් සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය ද ජනතාවට වැදගත් ය. එපමණක් නොව ඡන්ද පරාජයෙන් පසු ගොඩනගා ගත් ඒකාබද්ධ විපක්ෂයේ සමහරුන්ගේ සහාය ද ජා.ජ.බ.යට ලැබුණු අවස්ථා විය. දැන් මේ ඒකාබද්ධ විපක්ෂය අවසන් වී හෝ අහෝසි වී හෝ තිබේ ද යන්නත් ප්‍රශ්නයකි.

ජා.ජ.බ.යේ දේශපාලන සදාචාරය ගැන ද අද විවේචන තිබේ. ඩීල් හා මුදල් ගැන ද පදනම් විරහිත චෝදනා පාවෙයි. හිතේ වේදනාවට වුව ද අසත්‍ය ප්‍රකාශ කිරීමත් වැරදිය. ඇත්තටම ගම්වල ඡන්දයෙන් පසු එකඟතාවක් ඇති කරගෙන බලය පිහිටුවා ගැනීමට අවකාශ තිබුණි. එහෙත් බලකාමී දෑස්වලට යථාර්ථය පසක් වන්නේ පස්ස පමණක් නොව හොස්ස ද බිම ඇනීමෙන් පසුවය. දේශපාලන බලය සඳහා ඩීල් දැමීම, ගනුදෙනු නියමවීම මෙන්ම පිල් මාරුව ද අලුත් දේවල් නොවේ. එහෙත් අද ඒ මහත්වරුන්ගේ පාර්ශ්වවලින් ද ඒ ප්‍රශ්නය නැඟීම උත්ප්‍රාසය දනවන්නකි. පව්කාරියට ගල් ගැසීම සඳහා පව් නොකළ අයෙක් ඉදිරියට එන්නැයි ජේසුතුමන් පවසද්දී ගල් බිම වැටුණු බව සඳහන් කතාවක් කිතු සාහිත්‍යයේ ද එයි. අපි එය මේ මහත්වරුන්ට මතක් කරමු. අනෙකාගේ යට ඇඳුමට හිනාවෙන එකාට තමන්ගේ හෙළුව නොපෙනීම මොන තරම් සරදමක් ද? මේ පුංචි ඡන්දය විගඩමක් කළ අය ද අද මේ දේශපාලන අවුලට වගකිව යුතු වෙති. කොහොමටත් දේශපාලන පුනරුදයක් සඳහා ප්‍රතිඥා දී සිටින ජනාධිපති අනුර කුමාරටත් ආණ්ඩුවටත් ඒ කටයුතු භාරය. ඒ සමගම දැන් කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර්ට ද එබඳුම දේශපාලන පවිත්‍රීකරණ වැඩසටහනක් භාරවී තිබෙන බව ද මතක් කළ යුතුය.
මේ අතර දින කිහිපයකට ඉහත මාධ්‍යවල පළවූ ලොමු දැහැ ගන්වන සුළු දූෂණ, අල්ලස්, වංචා චෝදනා පත්‍රයක් ද ඉදිරිපත් විය. පසුගිය ආණ්ඩුවල සිටි මැති ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් හා කථානායකවරයකුගේ නම් ද ඒ පුවත සමග සඳහන් විය. රූපවාහිනී නාලිකාවක අදාළ නම් ගම් ඡායාරූප ද සමග පළ කර තිබුණි. ඒ අතර ස.ජ.බ. දේශපාලන නමක් හා හිටපු ආරක්ෂක ප්‍රධානියකුගේ නමක් ද විය. අපි ඒ නම් යළි උපුටා නොදක්වමු. එහෙත් මේ පුවත මෙරටේ ජනතාව තුළ දැඩි පිළිකුලක් නගනු නිසැකය. මේ අයට එරෙහිව විමර්ශන සිදු කෙරෙන බව ද දැක්විණි. නීතිය ඉදිරියේ දී ඒ චෝදනා, විමසුම්වල ඇත්ත නැත්ත හෙළිවනු ඇත. එසේම මේ වනවිටත් චෝදනාවලට ලක්ව සිටින කෙහෙළියගේ පවුලම පාහේ චෝදනාවලට ලක්වී සිටි අයුරු ද ජනතාව බලා සිටියේ විශ්මයට පත්වය.
මෙබඳුම දූෂණ අල්ලස් වරදකට ලක්වූ විශේෂඥ වෛද්‍යවරියකට ද චෝදනා ඉදිරිපත්ව තිබේ. ජයවර්ධන පුර රෝහලේ සිය නිලබල යොදාගෙන මේ වර්ගයේ අශ්ලීල ක්‍රියාවක් සිදුකර ඇත්නම් පළමුව ඇය මෙරටේ අසරණ ජනතාව ගසා කෑමේ අවමානයට ද ලක්විය හැකිය. අනතුරුව ඇගේ වෘත්තියට ලබාදී ඇති කැළල ද සුවපත් කළ නොහැකි වනු ඇත. කුමක් වුවත් ඇය තවම චූදිතයෙකි. එහෙත් මේ වර්ගයේ අමානුෂික, නීච ග්‍රාම්‍ය වංචා ගැන ඇසෙන විට ජනතාව තුළ ඇති වන්නේ බලවත් සිත් තැවුලකි. ඇත්ත වශයෙන්ම දැන් දැන් ඇසෙන දූෂණ වංචා පුවත් ඒ තරමටම බිහිසුණුය. මේවායේ අවසානය කුමක්ද? බෞද්ධ සාහිත්‍යයේ එන කතාවක සඳහන් වූයේ එදා කිසාගෝතමියට අබැටක් සොයා ගැනීමට නොමළ ගෙයක් නොතිබුණු බවය. ඇත්තටම මේ සියල්ල නිමවෙද්දී අල්ලසක් නොගත් වංචාවක් නොකළ දේශපාලන චරිතයක් සොයා ගැනීමට හැකිවේ ද යන සංවේදී ප්‍රශ්නය ද අපට නැඟෙයි. අප මැදිවී සිටින්නේ කෙබඳු චෞර වළල්ක්ට දැයි ද සිතේ.