වින්දිතයන්ට නිසි සැලකීමකුත් නෑ
වධ දෙනවා නම් 1996ට කතා කරන්න
වධහිංසාව නැති කරන්න ක්‍රියාමාර්ග ගන්නවා – පොලිස්පති
වධහිංසා වින්දිතයන්ට සහයෝගය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ලබන 26 වැනිදාට යෙදී තිබේ. තවත් එක් වධහිංසා සිද්ධියකට අදාළ ඓතිහාසික තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නේ ඒ අතරතුරදීය. එසේම වධහිංසා වින්දිතයන්ට වගකිව යුතු ආයතන සහයෝගය දක්වන ආකාරය ගැන පසුගිය සතියේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේදී නැවත දිගහැරිණි. මේ ඒ ගැනයි.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි ව්‍යවස්ථාව අනුව වධදීම පමණක් නොව කෲර අමානුෂික සහ අවමන්සහගත සැලකීම් සහ දඬුවම් ලබාදීම ද නතර කර තිබේ. ඉන් මිදීමේ අයිතිවාසිකම සියලුම පුද්ගලයන්ට හිමිවේ. එසේම 1994 අංක 22 දරන වධදීමට සහ අනිකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ දඬුවම්වලට එරෙහි වූ සම්මුති පනත අනුව එය දඬුවම් ලැබිය හැකි වරදකි. වධ දීම හෝ ඉහත සඳහන් කළ අවමන් සහගත සැලකීමකට ලක් කිරීම පමණක් නොවන කිසිවකු එලෙස කටයුතු කරන්නේ නම් එය නතර කළ හැකි නිලධාරියකු එලෙස නොකර සිටීම ද දඬුවම් ලැබිය හැකි වරදකි.
ලංකාවේ තත්ත්වය
වධ හිංසා කිරීම ලංකාවේ තත්ත්වය ඉතා බරපතළ බව අධිකරණ තීන්දුවලදී සඳහන් විය. 2023 අගෝස්තු 22 වැනිදා විනිසුරු විජිත් මලල්ගොඩ සහ විනිසුරු මහින්ද සමයවර්ධන මහත්වරුන්ගේ එකඟත්වය අනුව විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අවසානයේ ඡේද 07ක් පුරා ලංකාවේ වධහිංසාවේ තත්ත්වය ගැන අධිකරණයේ නිරීක්ෂණ සටහන් කළේය.
වධහිංසා සහ වෙනත් ආකාරයේ කෲර, අමානුෂික හෝ අවමන්සහගත සැලකිලි හෝ දඬුවම්වලට එරෙහිව ඇති තහනම නොතකා එය අඛණ්ඩව උල්ලංඝනය කිරීමට ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් දිගින් දිගටම කටයුතු කිරීම ගැන බරපතළ කණස්සල්ල සටහන් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුවේ දී සඳහන් කළේය.
‘එක් තීන්දුවක තීන්ත වියළීමට පෙර, තවත් සමාන හෝ නරක නඩුවක් මෙම අධිකරණයේ අවධානයට යොමු කෙරේ. මෙම නඩුව එම අඛණ්ඩ නඩු මාලාවේ එකකි.’ යනුවෙන් සඳහන් කළ අධිකරණය රට පුරා වධහිංසාව තවමත් පැතිරී පවතින බව ප්‍රකාශ කළේය. මෙවැනි වධහිංසා කරන පිරිසට එරෙහිව කඩිනමින් සහ ඵලදයී ලෙස ක්‍රියාමාර්ග නොගැනීම මෙම තත්ත්වයට එක් හේතුවක් බව ද අධිකරණය අවධාරණය කළේය. ‘ලංකා පොලිසියේ නායකත්වය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මෙම තත්ත්වය පිළිබඳව බැරෑරුම් ලෙස දැනුවත් විය යුතුය. නායකත්වයට පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පමණක් නොව, පොලිසිය බාරව සිටින අමාත්‍යවරයා සහ විෂය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ද ඇතුළත් වනු ඇත. ජාතික පොලිස් කොමිසම මෙම කාරණය බැරෑරුම් ලෙස සලකා බැලීම ද අවශ්‍ය වේ.’ යනුවෙන් කෝදාගෝඩ විනිසුරුවරයා සඳහන් කළේය. එම තීන්දුවේ දී අධිකරණය අවධාරණය කළේ වධහිංසාව සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන වධහිංසාව තුරන් නොකළහොත් අධිකරණයේ ඉදිරි තීන්දුවලදී පොලිසියේ නායකත්වයට සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට එරෙහිව ද සම්බාධක පැනවීමට සිදුවන බවයි.
අත් දෙකෙන් එල්ලා පහරදුන් පොලිසිය
විනිසුරු එස්. තුරෙයිරාජා සහ විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් යන මහත්වරුන්ගේ එකඟත්වයෙන් විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් පසුගිය සතියේ රුපියල් මිලියන දෙකක්, එනම් රුපියල් ලක්ෂ 20ක් වින්දිතයකුට ගෙවන ලෙස ඌරගස්මංහන්දිය පොලිසියේ 2019 වන විට හිටපු ස්ථානාධිපතිට සහ අපරාධ අංශයේ ස්ථානාධිපතිට නියෝග කළේ වධහිංසාව සම්බන්ධ තවත් සිදුවීමකට අදාළ තවක් එක් නඩුවකදීය.
සිද්ධිය වූ 2019 වසර වන විට පී. ඒ. සී. මධුෂාන් 24 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි. ඔහු පෞද්ගලික ආයතනයක වෙළෙඳ නියෝජිතයකු ලෙස කටයුතු කළ අතර 2019 ජුනි මස 21 වැනිදා දවස 3.30ට පමණ ඔහු දළුවත්ත ස්ටෝර්ස් නම් ආයතනයට ගොස් අදාළ බඩු බෙදාහැරීම සිදු කළේය. පසුදින ද ඔහු සුපුරුදු පරිදි තම දෛනික කටයුතු සිදුකරගෙන ගිය අතර ජුනි 23 වැනිදා ඌරගස්මංහංදිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති හිරාන් නම් නිලධාරියා කතා කර මධුෂාන්ට පොලිසියට පැමිණෙන ලෙස දනුම් දුන්නේය. ඔහු පොලිසියට ගියේ දමිත් සංජීව නම් නීතිඥ මහතා සමගය. ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු තරුණයා මුදාහරින බවට පොලිසිය දැනුම් දුන් නිසා නීතිඥවරයා පිටව ගියේය.
නීතිඥවරයා පියව ගිය පසු මධුෂාන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ වූ අතර දළුවත්ත ආයතනයෙන් රත්තරන් සොරා ගත්තා නේ දැයි විමසා පහර දුන්නේය. පොලිසියේ අපරාධ අංශයට එහා පැත්තෙන් වූ කාමරයකට මධුෂාන් රැගෙන ගිය පොලිසිය ඔහුගේ අත් පිටුපසට කර අත්මාංචු දැමීය. පොලිස් නිලධාරීහු ඔහුගේ මුහුණට සහ කනට පහරවල් කිහිපයක් එක දිගට එල්ල කරන්නට වූහ. හිරාන් නම් අපරාධ අංශයේ ස්ථානාධිපති මධුෂාන්ගේ පුරුෂ ලිංගය තදින් මිරිකීය. ඉන් ඇතිවූ වේදනාව කොතෙක් ද යත් තරුණයාට දැඩි වේදනාවක් සමග ක්ලාන්ත ගතියක් ඇතිවිය.
නැවත තරුණයා අපරාධ අංශයට ගෙනැවිත් අත්මාංචු ඉවත් කළ අතර සොරකම ගැන ප්‍රශ්න කරන්නට විය. ඔහු දිගින් දිගටම තමා සොරකමක් නොකළ බව කියද්දී, වරද භාර නොගතහොත් ඒ අසල බෝතලයක දමා තිබූ අත්බෝම්බයක් පෙන්වා එම අත්බෝම්බය සමග ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බවට තර්ජනය කළේය. ටික වේලාවකට පසු ඔහු නැවත කාමරයකට රැගෙන ගිය අතර ඔහුට අත්විලංගු දැමීය. ඉන් පසු තරුණයාගේ මැණික්කටු දෙක නයිලෝන් කඹයකින් ගැට ගසා ඒ මගින් තරුණයා බාල්කයක එල්ලීය. තරුණයාට දිගින් දිගටම පහර දුන්නේය. පැය දෙකක් තම කිසිම වාරුවක් නැතිව අත්දෙකෙන් ඔහු බාල්කයක එල්ලා තැබීය.
පසුදින එනම් 24 වැනිදා උදෑසන 7.00ට පමණ තරුණයාගේ මව පොලිසියට පැමිණෙන විට ඔහු සිටියේ අත්දෙක උස්සා ගැනීමටත් නොහැකිව අමාරු තත්ත්වයකය. පොලිස් ස්ථානාධිපති හරිත් දැනුම් දුන්නේ රුපියල් ලක්ෂ තුනක මුදල් සොරකමක් සිදුවී යැයි කියන ආයතනයේ හිමිකරුට ගෙවන්නේ නම් ඔහු මුදාහැරිය හැකි බවයි. ඔහුට පොලිස් ඇප ලැබුණේ 25 වැනිදා රාත්‍රී 7.30ට පමණය. පසුදින උදෑසනම කළුතර නාගොඩ රෝහලට මධුෂාන් ඇතුළත් කරනු ලැබිණි. ජුනි 27 ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවිණි. එතැන් සිට ජුනි 08 වැනිදා තෙක් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීමට ඔහුට සිදුවූ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා දිගටම රෝහල් සායනවලට පැමිණීමට ද සිදුවිය.
මීට අදාළ මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා සඳහන් කළේ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් දෙදෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති නීති පසිඳලීම සර්ව සාධාරණ විය යුතු බව, වධහිංසාවට යටත් කළ නොහැකි බව, නීති විරෝධීව අත්අඩංගුවට ගැනීමෙන් සහ රඳවා තබා ගැනීමෙන් මිදීමේ අයිතිවාසිකම කඩ කර ඇති බවයි. ඒ අනුව වින්දිත තරුණයාට රුපියල් මිලියන දෙකක වන්දියක් ගෙවන ලෙසත්, එය තම පෞද්ගලික මුදලින් ගෙවන ලෙසත්, නඩු ගාස්තු ගෙවන ලෙසත් පොලිස් නිලධාරීන් දෙදෙනාට නියෝග කළ අතර පොලිස් නිලධාරීන්ට අදාළ විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තීන්දුවේ පිටපතක් ජාතික පොලිස් කොමිෂන් සභාවට යොමු කිරීමට ද නියෝග කළේය.
පාඩමක් ඉගෙන ගන්න- මධුෂාන්
මෙම නඩු තීන්දුව ලබාදීමෙන් පසු එම වධහිංසාවට ලක්වූ තරුණයාගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ පුරවැසියකු වධහිංසාවකට ලක් වුවහොත් ඊට අදාළව නීතිමය සහන ලබා ගැනීමේ ක්‍රමවේදය ගැන සියලු පුරවැසියන් දැනසිටිය යුතු බවයි. තමාට වසර හයකින් පසු යුක්තිය ඉටු වූ බවත්, මෙය පාඩමක් කරගෙන වධහිංසා කිරීම නතර කළ යුතු බවත්, කාට හෝ වධහිංසාවක් වනවා නම් නීතිය ඉදිරියට යන ලෙසට ඉල්ලා සිටින බවත් මධුෂාන් කීවේය.
වින්දිතයන්ට සලකන හැටි

ලබන සතියේ එන්නේ වධහිංසා වින්දිතයන්ට සහයෝගය දැක්වීමේ ජාත්‍යන්තර දිනයයි. වධහිංසා වින්දිතයන්ට රටේ සලකන්නේ කොයි ආකාරයට දැයි මාතර මහෙස්ත්‍රාත් බී. ඒ. අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඉදිරියේ පසුගිය සතියේ කැඳවූ නඩුවකදී හෙළිදරව් විය. ඒ පසුගිය සති කිහිපයක් තිස්සේ හෙළිකරමින් සිටි මාතර තෙලිජ්ජවිල ඩිල්ෂාන්ගේ සිද්ධියකට අදාළ නඩුවකි. වධහිංසාවලට ලක්වූ පසු ඊට එරෙහිව නීතිය ඉදිරියට යෑම නිසා වෙඩි තැබීමට ලක්වීමෙන් පසු ඩිල්ෂාන්ගේ ආරක්ෂාව සහිතක කරන ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඉන් අනතුරුව වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය අවි සහිත නිලධාරීන් දෙදෙනකු ඩිල්ෂාන්ගේ ආරක්ෂාවට යෙදවූ 2024 වසරේ ජනවාරි 23 වැනිදා සිට ඩිල්ෂාන් නිවාස අඩස්සියට පත්විය.
ඔහුට නිවසින් පිටතට යෑමට හැකිවූයේ අධිකරණ දිනවලදී පමණි. මාසයකට රුපියල් හැට හැත්තෑ දහසක ආදායමක් ලැබූ ඩිල්ෂාන්ට එම ආදායම සම්පූර්ණයෙන්ම අහිමිවූ අතර පවුලේ උදවිය නඩත්තු කිරීමට සත පහක්වත් ලබාදීමට නොහැකි තත්ත්වයට ඩිල්ෂාන් පත්විය. ඩිල්ෂාන්ට අධිකරණයට පැමිණීමට සිදුවූයේ මිතුරන්ගෙන් ණයට මුදල් ලබා ගනිමිනි. වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනතේ වින්දිතයකුගේ අයිතිවාසිකම් ගැන බොහෝ දෑ සඳහන් වන හෙයින් තමාට මාසික වන්දියක් හෝ ලබා දෙන ලෙස ඉල්ලා සිටියද එය ක්‍රියාත්මක නොවීම නිසා ඩිල්ෂාන්ගේ නීතිඥ තිලංකා ලොකුගේ මහත්මිය මේ ගැන අධිකරණය දැනුවත් කළ අතර, ඒ අනුව පසුගිය සතියේ වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේය.
වින්දිත ඩිල්ෂාන් වෙනුවෙන් නීතිඥ සුරේන් ඩී. පෙරේරා මහතාගේ උපදෙස් මත නීතිඥ නුරේකා රොද්‍රිගෝ, නීතිඥ හිරුණි පෙරේරා සහ නීතිඥ තාරක නානායක්කාර සමග නීතිඥ මනුෂිකා කුරේ මහත්මිය පෙනී සිටියාය. නඩුව කඳවූ අවස්ථාවේදී වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරියෙන් පෙනී සිටි නීතිඥ ඉන්දීවරී මහත්මිය ප්‍රකාශ කළේ තරුණයාට රුපියල් 20,000 බැගින් මාසිකව ගෙවීමට අධිකරිය අනුමත කර ඇති බවයි. එම අවස්ථාවේ කරුණු දැක්වූ නීතිඥ මනුෂිකා කුරේ මහත්මිය මෙසේ කීවාය.
‘මේ වින්දිතයාට අඩු තරමේ මාසිකව රුපියල් 35,000ක්වත් ලබා දෙන ලෙසයි ඉල්ලා තිබුණේ. අනුමත මුදල ප්‍රමාණවත් නොවන නිසා ඒ ගැන සලකා බලන ලෙස අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ වගේම ඔහු ඉන්නේ පොලිස් ආරක්ෂාව යටතේ. ඔහුට අධිකරණ කටයුතුවලට එන්න වාහනයක් ලබා දෙන්නේ නෑ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා. මේ නිසා මොහුට රුපියල් 2000ක් දිනකට වියදම් වෙනවා. මේ ගැනත් සලකා බලන ලෙස ඉල්ලනවා’ ආදී වශයෙන් දීර්ඝ කරුණු දැක්වීමක් කළාය.
එම අවස්ථාවේදී වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය සඳහන් කළේ වින්දිත ඩිල්ෂාන්ට අධිකරණයට පැමිණීම සඳහා වාහනයක් ලබා දෙන ලෙස මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට ලිඛිතව නියෝග කර ඇති නමුත් ඔහු එය ක්‍රියාත්මක නොකරන බවයි. එම අවස්ථාවේදී මාතර මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විවෘත අධිකරණයේදී මෙසේ කීවේය.
‘ප්‍රවාහනය කියන එක වින්දිතයාගේ ආරක්ෂාවේ කොටසක්. මේකේ ආරම්භය පොලිසිය. මුල් සිද්ධිය වධහිංසා සිද්ධියක්. වධහිංසාව සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කරන්න නියමිතව තිබෙනවා. අනිත් සිද්ධිය මොහු අරමුණු කරගෙන වෙඩි තැබීම. ඒකෙන් වෙනත් කෙනෙක් මියගියා. මේක ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් දක්වා දිව ගිහින් තිබෙනවා. ඔහු අධිකරණයට පැමිණීම මේ නඩුවලට අදාළ කාරණයක්. ඒක නෛතික අවශ්‍යතාවක්. ඔහුට අවශ්‍ය ආරක්ෂාව සැපයීම රාජයේ වගකීමක්. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ පෞද්ගලික අභිමතාර්ථ හෝ වෙනත් දේවල් මත අධිකාරියේ නියෝග ක්‍රියාත්මක නොකර ඉන්න බෑ. ඒක පනත අනුව වරදක්.’ යැයි මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
වින්දිතයන්ට සහයෝගය දැක්වීම සහ ඔවුන්ගේ ආරක්ෂාව ගැන රාජ්‍යයේ හැසිරීම මෙයින් හොඳටම පෙන්නුම් කරයි.
අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා – පොලිස්පති
ශ්‍රී ලංකාවේ වධහිංසාව තුරන් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවා දැයි වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් විමසීමක් කළ අතර ඊට ඔහු මෙලෙස ප්‍රතිචාර දැක්වීය.
‘වධහිංසාව තුරන් කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගනිමින් ඉන්නවා. මානව හිමිකම් කොමිසම සහ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මාර්ගෝපදේශ අනුව ක්‍රියා කරන ලෙස සියලුම පොලිස් නිලධාරීන්ට චක්‍රලේඛ මගින් දැනුම්දී තිබෙනවා. මීට අදාළ පැමිණිලි ලැබුණු ගමන් විමර්ශන ආරම්භ කරනවා. පොලිස් නිලධාරියකුට එරෙහිව පැමිණිල්ලක් ලැබුණොත් අපි පොලිස් විශේෂ විමර්ශන ඒකකය හරහා විමර්ශන ආරම්භ කරනවා. මේ වන විටත් එවැනි පැමිණිලි ගණනාවක් ගැන විමර්ශන යනවා. ඒ වගේම පොලිස් විද්‍යාලයේ සහ අදාළ පුහුණු ආයතනවලදී අපි නිලධාරීන් දැනුවත් කරනවා. මහජනතාවට පොලිසියෙන් අසාධාරණයක් වෙනවා නම් පොලිස්පතිට සහන දිනයට ඇවිත් මා හමුවෙන්න පුළුවන්. ඒ වගේම පොලිස් නිලධාරීන්ට ගැටලු තියනවා නම් වෙනත් දිනයක් තිබෙනවා, එදිනට මා හමුවෙන්න පුළුවන්. නීතිය ඇතුළේ වැඩ කරන සියලු පොලිස් නිලධාරීන් අපි ආරක්ෂා කරනවා’ යැයි ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කළේය.
පුද්ගලයකුට රාජ්‍ය ආයතනයක දී වධහිංසා සිදු කිරීමක් වාර්තා වන්නේ නම් එම අවස්ථාවේම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ක්ෂණික ඇමතුම් අංකයට කතා කර ඒ ගැන දැනුම්දිය හැකිය. ක්ෂණික ඇමතුම් අංකය 1996 වේ. කොමිසමේ ඊමේල් ලිපිනය [email protected] වන අතර තැපැල් ලිපිනය අංක 14, ආර්. ඒ. ද මැල් මාවත, කොළඹ 4යි. එසේම මහනුවර.දිගන පාරේ නත්තරංපොත පිහිටි මහනුවර මානව හිමිකම් කාර්යාලය (HRO) (දු.අ. 081.2424511) නම් සිවිල් සංවිධානය වැනි සිවිල් සංවිධාන ද වධහිංසාවට එරෙහිව කටයුතු කරගෙන යන අතර එවැනි ආයතන ද සම්බන්ධ කරගෙන නීති ආධාර ඉල්ලා සිටීමට හෝ ගත හැකි ක්‍රියාමාර්ග ගැන උපදෙස් ගැනීමට හැකියාව තිබේ.
වධහිංසාව තුරන් කිරීම සහ වධහිංසාවට ලක්වූවන් ආරක්ෂා කිරීම රාජයේ වගකීමක් වන අතර ඊට අවශ්‍ය බලපෑම් කිරීම පුරවැසියන්ගේ වගකීමකි.
තරිඳු ජයවර්ධන