වසර පහට සහනාධාර වියදම් දෙගුණයකින් වැඩිවෙලා
පවුල් ලක්‍ෂ 57න් ලක්‍ෂ 24කටම සහන ලැබෙන හැඩ
පාළුවට ගිය ඉඩම් තාවකාලික පදනම මත සහනාධාර ලාභීන්ට වගාකරන්න දිය යුතුයි
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල

ශ්‍රී ලාංකික ජාතිය අතීතයේදී ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව සිටියේ ස්වයංපෝෂිත ජාතියක් වශයෙනි. සත්මහල් ප්‍රාසාදය වැනි අහස් කුස සිපගන්නා මැඳුරුත්, පරාක්‍රම සමුද්‍රය වැනි මහා විසල් ජලාශත් නිල නොලත් අටවන ලෝක පුදුමය වශයෙන් නම් ලද සීගිරිය වැනි මාලිගාත් තැනුවේ වෙන කවුරුත් නොව ශ්‍රී ලාංකිකයන්මය. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය පිටරටින් ලැබුණේ නැත. ශක්තිය පිටරටින් ලැබුණේ නැත. මේ සියල්ලම ශ්‍රී ලාංකිකයන්ගේ විස්මිත නිමැවුම්ය. අතීත ශ්‍රී ලාංකිකයා දශමයකිනිදු හෝ කම්මැලි ජාතියක් වූයේ නැත. තව කෙනෙකුගෙන් කන්නට යමක් ලැබෙනකන් අතපය හකුලාගෙන සිටියේ නැත. හොඳ හැටි වෙහෙස මහන්සි වී වැඩ කළ හැකි ජාතියක් විය.
නමුත් අද වනවිට කියන්නට සිදුවන කතාව ඊට හාත්පසින්ම වෙනස්ය. අද හැමදේටම පිටරටට අත පාන්නට සිදුව ඇත. ආණ්ඩුවෙන් දෙන සහනාධාර ලැබෙන තෙක් දෑත් පපුවට බැඳගෙන සිටින නිවට ජාතියක් බවට පත්ව ඇත. සහනාධාර නැත්නම් ශ්‍රී ලාංකිකයා බඩගින්නේය. අත සොලවා කට සෙලවූ පුද්ගලයා සිඟමනේ ගොස් කාට හෝ අත පා කන තැනට පත්ව ඇත. ඇත්තම කතාව කිව්වොත් පත්ව ඇත නොව පත් කර ඇත. ඒ වෙන කවුරුවත් නොව එතෙක් මෙතෙක් රට පාලනය කළ නායකයන්ය.
සෑම රටකම සහනාධාර ලැබිය යුතු කොටසක් සිටියි. ඒ ගැන විවාදයක් නැත. එම පිරිසට අනිවාර්යෙන්ම සහනාධාර ලැබිය යුතුය. නමුත් අද වන විට හැම කෙනෙක්ම සහනාධාර ලබන්නන් බවට පත්ව ඇත.
කාලයක් තිස්සේ බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවෙන් අති විශාල වස්තු සම්භාරයක් එම රටවලට ගෙන ගියහ. විශේෂයෙන්ම තේ කර්මාන්තය හරහා ඔවුහු මහා ධනස්කන්ධයක් ඔවුන් ඉපැයූහ. එම ධනස්කන්ධයෙන් කොටසක් ශ්‍රී ලාංකිකයන්ට ලැබිය යුතු යැයි යන ස්ථාවරයේ සිටි නිසා මෙරටට නිදහස ලැබීමත් සමඟ නිදහස් අධ්‍යාපනයක් ලැබිණි. නිදහස් සෞඛ්‍ය සේවයක් ලැබිණි. 1948.1977 අතර කාලය තුළ එවැනි වරප්‍රසාද රාශියක් මෙරට වැසියන්ට ලැබිණි. ඊට අමතරව ආහාර සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක විණි. එදා සිට අද දක්වාම ලංකාව තුළ එම වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර ඊට අමතරව වෙනත් සහනාධාර වැඩසටහන්ද රාශියක් ක්‍රියාත්මක වේ. මේ හේතුව නිසා කලාපයේ අනෙකුත් රටවල් හා සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාව මානව ප්‍රාග්ධනය අතින් ඉහළ ස්ථානයක සිටින බව සත්‍යයකි. එය හොඳ දෙයකි. නමුත් එම මානව ප්‍රාග්ධනය ශ්‍රී ලංකා ආර්ථිකයට උරා ගැනීම සඳහා එහෙමත් නැතිනම් රටට වැඩදායක ලෙස යොදා ගැනීම සඳහා පැහැදිලි වැඩපිළිවෙළක් එදා සිට අද දක්වාම ක්‍රියාත්මක නොවුණු බව කනගාටුවෙන් වුවත් කියන්නට සිදුවන කාරණයකි.
ජනසවිය
වර්ෂ 1977 පසු බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ රජය විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමග රටේ විශාල පෙරළියක් ඇති විය. ඒත් සමග 1989 වර්ෂයේදී හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ජනසවිය නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. ඒ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය සහ තවත් වැඩසටහන් ක්‍රියාත්මක වන අතරතුරය. එහි මූලික අරමුණ වූයේ ස්වයං රැකියා ජනනය කිරීම තුළින් ශ්‍රී ලාංකික ජාතිය දෙපයින් නඟා සිටුවීමයි. එය කොතෙක් දුරට සාර්ථක වූවාදැයි සහ දේශපාලන අරමුණුවලින් තොරව ක්‍රියාත්මක වූවා දැයි යන්න වෙනම කාරණයකි. එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර මේ හේතුව නිසාම ඊළඟ ආණ්ඩුවෙන් එහි නම මෙන්ම ව්‍යුහයද සම්පූර්ණයෙන්ම වෙනස් කළේය.
සමෘද්ධිය
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන් පසු 1994 2005 බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරිය ජනසවියට තිත තැබීය. ඒ වෙනුවට සමෘද්ධිය හඳුන්වා දෙන ලදී. මේ තුළින් ආහාර මෙන්ම ජනතාව අතට සෘජුවම මුදල්ද ලබාදෙන ලදී. එම වකවානුවේ රට පාලනය කළ නායකයන් විශාල වශයෙන් සමෘද්ධිය හරහා සිය දේශපාලන ව්‍යාපාරය පවත්වාගෙන ගියහ. ඊට අමතරව දිවිනැගුම නමින් තවත් ව්‍යාපාරයක් රට තුළ ක්‍රියාත්මක විණි. මේ කොයි වැඩසටහනත් නැති බැරි අයට පමණක් නොව ඇති හැකි අයටද ලැබුණු බව රහසක් නොවේ. මීට අමතරව නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය, වැඩිහිටි දීමනා, ආබාධිත දීමනා වැනි සුබසාධන කටයුතු රාශියක් ක්‍රියාත්මක විණි.
අස්වැසුම

දිගින් දිගටම ඉවක් බවක් නැතිව මුදල් සහ විවිධ වරදාන වරප්‍රසාද බෙදාදීමේ ප්‍රතිඵලය වූයේ අවසානයේ ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වීමයි. 2023 වන විට ලංකාව වැලේ වැල් නැතිව සිටින අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට ලැබිණි. ඒත් සමඟ ආණ්ඩුව පරණ පීල්ලේම ගමන් කරමින් යළි සහනාධාර බෙදීමේ වැඩසටහන අස්වැසුම නමින් අලුත් වටයකින් ආරම්භ කළේය.
අස්වැසුම ව්‍යාපාරයෙන් වැඩි වශයෙන්ම වරප්‍රසාද හිමිවුණේ ඇති හැකි අය යැයි කිව්වොත් නිවැරදිය. එක් අවස්ථාවක ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයකින් පැමිණි පුද්ගලයකු රාජ්‍ය බැංකුවක අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම වෙනුවෙන් ගිණුමක් විවෘත කරන අයුරු මෙම ලියුම්කරුට දක්නට ලැබිණි. කාලයෙන් කාලයට නව වෙනස් වුණත් සහනාධාර වැඩසටහන් අදටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වේ.
වර්ධනය වුණු සහනාධාර ලාභියෝ
2013 වන විට මෙරට සමෘද්ධිලාභීන් සිටියේ දහ හතර ලක්ෂ හැත්තෑ හත්දහස් එකසිය හැත්තෑ තුනක් පමණි. එය 2015 වන විට දහ හතර ලක්ෂ පනස් තුන්දහස් හැත්තෑ තුනක් දක්වාත් 2017 වන විට දහතුන් ලක්ෂ අසූඅට දහස් දෙසීය හතළිස් දෙක දක්වාත් 2019 වන විට දහ අට ලක්ෂ එක්දහස් අසූ දෙක දක්වාත් 2022 වර්ෂය වන විට දහහත් ලක්ෂ පනස් තුන්දහස් හාරසිය පනස් අට දක්වාත් වර්ධනය වී තිබේ. එය රටේ සමස්ත පවුල් වලින් 30% කට ආසන්නය. රටෙන් තුනෙන් එකක් සමෘද්ධිය මත යැපෙන කල එම රටේ මොන සමෘද්ධියක්ද. රටක් දියුණු වීමට නම් එම රටේ ජනතාව වැඩි වැඩියෙන් වැඩ කළ යුතුය. නමුත් රටෙන් තුනෙන් එකක් සහනාධාර මත යැපෙයි නම් රටේ දියුණුව ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.
මීට අමතරව වෙනත් සහනාධාර ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වේ. ඒ වෙනුවෙන්ද ආණ්ඩුව අතිවිශාල මුදල් සම්භාරයක් වියදම් කළ යුතුය. 2012 වර්ෂයේදී සහනාධාර වියදම් ලෙස අයවැය මගින් වෙන් කොට ඇත්තේ රුපියල් බිලියන 408 ක් පමණි. නමුත් එම වියදම් දිගින් දිගටම වැඩි වී ඇති සැටියක් දකින්නට ලැබේ. 2021 වර්ෂයේදී සහනාධාර වෙනුවෙන් රුපියල් බිලියන 685ක් වෙන් කොට ඇති අතර 2022 වර්ෂය වන විට එය රුපියල් බිලියන 815 දක්වා වැඩිවී ඇත. රටෙහි පැවති දැඩි ආර්ථික අර්බුදයත් සමග 2023 වර්ෂය වන විට සහනාධාර වෙනුවෙන් වැය කළ යුතු මුදල් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව 2023 වර්ෂයේදී සහනාධාර වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් බිලියන 1005කි. 2024 වර්ෂය වන විට එම වියදම් තවත් වැඩි වී තිබේ. ඒ රුපියල් බිලියන 1162 දෙකක් දක්වායි. අද වන විට රටෙන් වැඩි කොටසක් සහනාධාර මත යැපෙන තත්ත්වයට පත් වී අවසානය. මේ නිසාම 2025 වර්ෂයේ සහනාධාර වෙනුවෙන් අයවැය මගින් රුපියල් බිලියන 1290 වැය කිරීමට සිදුව ඇත.
දිගින් දිගටම ආණ්ඩු මගින් සහනාධාර සඳහා වියදම් කරන මුදල් කොපමණ වැඩි කළත් එයින් නිසි ප්‍රයෝජනයක් ලබන බවක් නම් දක්නට නොලැබේ. පසුගිය වසරේ ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වුණේ මෙරට ජනතාවගෙන් 26%ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවයි. නමුත් රජය මගින් සහනාධාර සඳහා වෙන් කරන මුදල් අනුව මෙරට ජනතාවගෙන් 30% කට වඩා වැඩි ප්‍රමාණයක් සහන ලබන බව වාර්තා වේ. ඒ අනුව පෙනී යන්නේ සැබෑ ලෙසම දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිසටත් වඩා වැඩි පිරිසක් ව්‍යාජ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර සහනාධාර ලබන බවකි.
මේ වනවිට සහනාධාර ලබන්නේ සැබෑ ලෙසම සහනාධාර ලැබිය යුතු පිරිසද යන්න ගැන සමාජයේ කථිකාවක් ගොඩනැගී තිබේ. ආර්ථික විශ්ලේෂකයන් වැඩි දෙනෙක් පවසන්නේ රජය විසින් ලබාදෙන සහනාධාරවලින් වැඩි කොටසක් ඒවා නොලැබිය යුතු පිරිස් විසින් ලබා ගන්නා බවයි. ආණ්ඩුව විසින් පසුගිය කාලයේ විදුලි බිල සඳහා සහනාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කළේය. ඊට අමතරව ඉන්ධන මිල සඳහාද ආණ්ඩුව යම් දායකත්වයක් දැක්විය. එම ඉන්ධන සහනාධාරය යටතේ තෙල් ලීටරයක් දෙකක් මෝටර් සයිකලයට භාවිත කරන දුප්පත් ජනතාවට වඩා වාසි සැලසෙන්නේ දවසට තෙල් ලීටර් 30. 40 භාවිත කරන ධනවත් පුද්ගලයන්ටය. එම සහනය වැඩිපුර ලැබී ඇත්තේ ඔවුන්ටය.
ලොව වෙනත් රටවල සහනාධාර ලැබෙන්නේ ඒවා ලැබිය යුතුම පිරිසට පමණි. ඔවුන් තම ආදායමින් වැඩි කොටසක් යටිතල පහසුකම් සංවර්ධනය, නිෂ්පාදන ක්‍ෂේත්‍රය වෙනුවෙන් යොදවන අතර ඒ තුළින් එන ප්‍රතිලාභ මගින් සුබසාධන කටයුතු සිදුකරයි. නමුත් අපේ රටේ සිදුව ඇත්තේ රට දියුණු කිරීමට තිබූ මුදල් සහනාධාර වෙනුවෙන් යෙදවීම නිසා සහනාධාර මත යැපෙන නිෂ්පාදකයන් පිරිසක් සහ සහනාධාර මත යැපෙන පාරිභෝගිකයන් පිරිසක් බිහිවීමයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ මහාචාර්ය අතුකෝරල මහතා
“අපත් සමග එකම මට්ටමේ සිටි ගොඩක් රටවල් මේ වනවිට දියුණු රටවල් බවට පත්වී තිබෙනවා. එම රටවල් මුදල් වියදම් කිරීමේදී යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මුදල් වියදම් කරන අතරේ සුබසාධන කටයුතු වෙනුවෙන් මුදල් වියදම් කරන අතරේයි. නමුත් අපි එහෙම ක්‍රියා නොකිරීම නිසා යැපුම් මානසිකත්වයෙන් මිදුණු ස්වශක්තියෙන් නැගී සිටින ජනතාවක් බිහි වී නැහැ.”
වැඩිවෙන අස්වැසුම
2023 වර්ෂයේදී අස්වැසුම හඳුන්වා දෙන විට ඒ සඳහා තෝරා ගත් පවුල් සංඛ්‍යාව දාහත් ලක්ෂ තිස්හත් දහසකි. ආණ්ඩුව විසින් එය මේ වන විට පවුල් විසි හතර ලක්ෂයක් දක්වා වර්ධනය කිරීමට සූදානම් වේ. රටේ සමස්ත පවුල් සංඛ්‍යාව ලක්ෂ පනස් හතකි. එයින් ලක්ෂ විසිහතරකටම අස්වැසුම ලබාදෙනවා යනු රටේ සමස්ත පවුල් වලින් 42% කටම අස්වැසුම ලබාදීමකි. රටක නායකයන් ක්‍රියාකළ යුත්තේ එම රටේ සහනාධාර ලබන ප්‍රමාණය වැඩි කිරීමට නොව ස්ව ශක්තියෙන් නැගී සිටින ජනතාවක් ගොඩනැගීමටය. එහෙව් ජාතියකට මොන දියුණුවක්ද.
මේ රටේ පවතින්නේ ග්‍රාම නිලධාරී වසම් දාහතර දහසකට ආසන්න සංඛ්‍යාවකි. පවුල් ලක්ෂ විසිහතර ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාවෙන් බෙදූ විට එක් ග්‍රාම නිලධාරී වසමකින් පවුල් 170 කට පමණ අස්වැසුම ලැබෙයි. එක් වසමක මේ වන විට සිටින පවුල් සංඛ්‍යාව හාරසියයකට ආසන්නය. ඒ අනුව ගමෙන් භාගයක් නඩත්තු කිරීමට සිදුව ඇත්තේ රජයටය.
කප්පාදු කළ යුතු සහනාධාර
පත්වන හැම ආණ්ඩුවකටම මේ සහනාධාර වැඩපිළිවෙළ විශාල හිසරදයක් වී තිබේ. නමුත් කිසිම රජයක් මේ කෙරෙහි අත නොතබන්නේ එය දේශපාලන වශයෙන් සිය දිවි නසා ගැනීමක් බඳු කාර්යයක් වන බැවිනි. මේ වන විට හැම කෙනෙක්ම පුරුදු වී සිටින්නේ ආණ්ඩුවෙන් නිකන් දෙන දේ ලබාගන්නටය. නැති බැරි එකා මෙන්ම ඇති හැකි එකාද කිසිදු ලැජ්ජාවකින් හිරිකිතයකින් තොරව මෙවැනි වරප්‍රසාද ලබා ගනී. අකැමැත්තෙන් වුවත් ආණ්ඩුව වහාම මේ සහනාධාර වැඩපිළිවෙළට තිත තැබිය යුතුය. සහනාධාර මත යැපෙන මානසිකත්වයෙන් ජනතාව මුදාගෙන ස්ව ශක්තියෙන් නැගී සිටින ජාතියක් බවට පත් කළ යුතුය.
ඒ සඳහා ගත හැකි පියවර කවරේදැයි අප මහාචාර්ය අතුකෝරල මහතාගෙන් විමසූවිට ඔහු කීවේ මෙවැන්නකි.
“මුලින්ම සහනාධාර ලබන පිරිසට ස්ව කැමැත්තෙන්ම ඉවත්වීමට අවස්ථාව ලබා දිය යුතුයි. ඊට අමතරව සහනාධාර ලබන පිරිස් සතියේ එක් දිනක් රජයේ විවිධ සංවර්ධන කාර්යයන් සඳහා සම්බන්ධ විය යුතු බවට කොන්දේසි පැනවිය යුතුය. ඒ හරහා යමක් කමක් තියෙන පිරිස වැඩ කිරීමට තිබෙන අකැමැත්තත් සමග මේ තුළින් ඉවත් වේවි.
ඊට අමතරව පාළුවට ගොස් ඇති රජයේ ඉඩම් තාවකාලික පදනම මත වගාකිරීම සඳහා අස්වැසුම ප්‍රතිලාභීන්ට ලබාදීම සිදුකළ හැකියි. ඒ තුළින් ඔවුන්ගෙන් යම් ආර්ථික වාසියක් රජයට මෙන්ම ඔවුන්ටත් ළඟාකරගත හැකියි. හැමදාමත් නිකන්ම මුදල් දෙනවා වෙනුවට ඔවුන් ආර්ථිකයට දායක වන යම් කටයුත්තකට දායක කරගත යුතුයි.”
හැමදේම නිකන් ලැබෙන තාක් එහි වටිනාකමක් නැත. එයින් ප්‍රයෝජනයක් ගන්නේ නැත. බොහෝ පිරිස් තමන්ට ප්‍රයෝජනයක් නැතත් නිකම් දෙනවානම් ලබා ගැනීමට පෙළඹී තිබේ. ආණ්ඩුව නතර කළ යුත්තේ එවැනි පිරිසයි. අදටත් සැබෑ ලෙසම සහන ලැබිය යුතු කොපමණ ප්‍රමාණයක් සිටිනවාද. අස්වැසුම සැබෑ අස්වැසුමක් වීමට නම් වත්මන් ආණ්ඩුව නොපමාව මේ වැඩපිළිවෙළ විධිමත් කළ යුතුය.
සමීර කන්නන්ගර