ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව “ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම: ණය සහ යහපාලනය” යන මැයෙන් පසුගිය ජුනි 16 වැනිදා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී ඉහළ මට්ටමේ සමුළුවක් පවත්වන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සහාය දක්වන ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වීම පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා මෙම අවස්ථාවට ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයින්, ගෝලීය පාර්ශ්වකරුවන් මෙන්ම පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජ නියෝජිතයින් එක්ව සිටි බව මහ බැංකුව පවසයි. එහෙත් මේ සමුළුවට පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජ නියෝජිතයින් කවර පදනමකින් හෝ එක්කරගෙන සිටියත් මාධ්‍ය (මුල්‍ය හා ආර්ථික අංශයේ) එක්කර ගෙන නොතිබිණි. මේ අයිඑම්එෆ් වැඩසටහන පමණක් නොව රටේ සියලු ආර්ථික හා මූල්‍ය තොරතුරු සමාජගත කරන එම මාධ්‍යට වඩා මෙම පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජ නියෝජිතයින් මේ සමුළුවට එක් කර ගැනීම වඩා වැදගත් බවට සමුළුවේ සංවිධායකයින් විසින් සලකා ඇති බව පෙනේ. මේ නිසා මේ රටේ ජනයාට මේ වැදගත් සමුළුව ගැන කරුණු කීමට සිදුව ඇත්තේ මහ බැංකුව විසින් මාධ්‍යට එවා ඇති තොරතුරු ඇසුරින් බව ද කිව යුතුව තිබේ.
මේ සමුළුව ආරම්භ කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් පැමිණි පිරිස පිළිගැනීමේ දේශනය පවත්වනු ලැබීය. ඉන් පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආරම්භක දේශනය පැවැත්වීය. මෙම සමුළුවේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මියයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් මෙම සමුළුවේ ආරම්භක දේශනය පැවැත්වූයේ ඇයයි.

2022 වසරේ අප මුහුණ දුන් ඉතිහාසයේ බලවත්ම ආර්ථික හා විනිමය අර්බුදය නිසා රට සහ ජනතාව මුහුණ දුන් ආර්ථික පීඩාවන් ගැන අමුතුවෙන් සිහිපත් කළ යුතු නොවේ. මේ බලවත් ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා බොහෝ ප්‍රමාද වී හෝ මුලින්ම අයිඑම්එෆ් සහාය ඉල්ලා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අවසාන භාගයේදීය. ඉන් පසුව ජනපති වූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ මෙන්ම වත්මන් ජනපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් වන ජාතික ජනබලවේගය ආණ්ඩුව යටතේ ද එම අයිඑම්එෆ් වැඩසටහන ක්‍රියාත්මක කරමින් සිටී. කලින් අයිඑම්එෆ් වැඩසටහන් 16 ක් අප පසුකර ඇත. එම වැඩසටහන්වලින් ඇතැම් ඒවා අප සම්පූර්ණ කිරීමට කටයුතු කර නැත. එහෙත් මෙවර අප මුහුණ දුන් ආර්ථික අර්බුදය පසුගිය අවස්ථා 16ටම වඩා වෙනස්ය. අපගේ ණය ගෙවීමේ හැකියාව (ණය තිරසාරත්වය ) ද අහිමි වී තෝරාගත් විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට අප රටට සිදු වූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය. මේ නිසා මෙවර අප මුහුණ දුන් ආර්ථික අර්බුදයේ දරුණුකම අනුව මෙන්ම වත්මන් රජයත් එම අයිඑම්එෆ් වැඩසටහන එකඟතා ප්‍රකාරව ඉදිරියට ගෙන යෑමට කැපවී සිටින නිසාත්, මේ 17 වැනි අයිඑම්එෆ් වැඩසටහන ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කරනු ඇති බව අපට සිතිය හැකිය.
ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් පැවති මේ සමුළුව පැවතියේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවකය. එනම් මේ අප සිටින්නේ වසර හතරක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සහාය දක්වන විස්තීර්ණ අරමුදල් පහසුකම වැඩසටහනේ පළමු වසර දෙක අවසාන වී ඇති මොහොතකය. එසේම මේ වන විට වැටුණු ආර්ථිකය කිසියම් මට්ටමකට ස්ථාවර වී ඇති බව ද රහසක් නොවේ. මේ පසුබිම තුළ 2022 වසරේ දී ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථිකයේ යථා තත්ත්වයට පත්වීම සහ පාලනය සම්බන්ධයෙන් ඇති වූ පරිවර්තනය පිළිබඳව සමාලෝචනය කිරීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සහාය දක්වන විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනේ පළමු අර්ධය අවසාන වී ඇති මෙම අවස්ථාවේ දී රටේ ප්‍රගතිය විශ්ලේෂණය කිරීමට මෙම සමුළුව මගින් ඉඩහසර ලැබීම ඉතා වැදගත් බව අපට කිව හැකිය.
මේ සමුළුවේ න්‍යාය පත්‍රයට විද්වත් මණ්ඩල සාකච්ඡා සැසි හතරක් ඇතුළත්ව තිබිණි. ඒවා නම් අප මුහුණ දුන් මේ බලවත් ආර්ථික අර්බුදයට තුඩු දුන් කරුණු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය දක්වන වැඩසටහනේ ආකෘතිය පිළිබඳ සාකච්ඡා කෙරුණු ආරම්භක සැසියක්, එයින් පසුව පැවැත්වුණු ණය තිරසාරභාවය කරා යන මාර්ගය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා විශ්වසනීයත්වය ඇති කිරීමේ මග පිළිබඳ සැසි දෙකක් සහ ඉදිරි අභියෝග පිළිබඳ සාකච්ඡාවට බඳුන් කෙරුණු අවසන් සැසියක් වශයෙනි. සමුළුව ආරම්භයේ ජනපතිවරයා මහ බැංකු අධිපතිවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මියගේ කතා හැර මේ කියන සැසිවලදී කවර දේ සාකච්ඡා වූයේ ද යන්න ගැන අපට අවබෝධයක් නැත. ඒ නිසා ඒ ගැන මේ රටේ ජනතාවට කරුණු කීමට මාධ්‍යයට ද හැකියාවක් නැත. කෙසේ වෙතත් මේ සමුළුවේ සියලුම විද්වත් මණ්ඩල සාකච්ඡාවල වීඩියෝ පට ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය සහ නිල සමාජ මාධ්‍ය හරහා මහජනතාව වෙත ලබාදීමට නියමිත බවට මහ බැංකුව පවසයි.
ආර්ථික අර්බුදයෙන් පසුව යම් ස්ථාවරත්වයක් අත්කර ගත්ත ද, ආර්ථික අර්බුදයේ කැළැල් තවමත් දැකිය හැකි බව මේ සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළ කරුණකි. එනම් වැටුණු වළෙන් මුළුමනින්ම ගොඩට පැමිණීමට රටට තවමත් හැකිව නැත. එසේ නම් අප දැන් සිටින ආර්ථික තත්ත්වය තවත් වැඩිදියුණු කර ගැනීම සහ දිගුකාලීන ස්ථාවරත්වයක් ඇති කර ගැනීම සඳහා තවත් ඉදිරි ගමනක් තිබේ. ඒ සඳහා මෙතෙක් පැමිණි ප්‍රතිපත්ති දිශානතියේ නොවෙනස්ව අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් ගමන් කිරීම අත්‍යවශ්‍ය වනු ඇත. ඒ සඳහා මේ රජය ද ප්‍රතිඥා දී ඇති බැවින් මේ ගමන සඳහා වත්මන් දේශපාලන අධිකාරියේ ද සහාය හා දායකත්වය ලැබීම ගැන දැන් සැකයක් නැත.
බොහෝ විට යම් රටකට මූල්‍ය අරමුදලේ සහාය පැතීමට සිදුවන්නේ විනිමය අර්බුදයන්ට මුහුණ දුන් අවස්ථාවලදීය. මේ අනුව අප මීට පෙර 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන ඇත. විවිධ විවේචන තිබිය හැකි වුවත් මූල්‍ය අරමුදල යම් රටකට සහාය ලබාදීමට ඉදිරිපත් වන්නේ එම රටේ ඉල්ලීම මත පමණි. ඒ නිසා පෙර අවස්ථා 16 දී මෙන්ම මෙවර ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට සහාය දීමට ඉදිරිපත්ව ඇත්තේ අපගේ ඉල්ලීම අනුවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොගෙන අපට අපගේ ආර්ථික හා විනිමය කළමනාකරණය මැනවින් කරගත හැකි නම් වඩාත්ම හොඳම දෙය වන්නේ එයයි. ඒ අනුව ජනාධිපතිවරයා මේ සමුළුවේ කළ දෙසුමේ දී කියා සිටියේ මෙය රටේ අවසාන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන බවට පත් කිරීම අවසාන ඉලක්කය විය යුතු බවයි. ඒ සඳහන ජනාධිපතිවරයාගේ වචන වලින්ම මෙසේය.
‘මා මීට පෙරද ප්‍රකාශ කර ඇති පරිදි අපේ අදිටන මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ විස්තීර්ණ ණය වැඩසටහනට පැමිණි අවසන් වැඩසටහන බවට පත් කර ගැනීමයි. ඒ පිළිබඳ අපේක්ෂාවක් අපට තිබෙනවා.
මූල්‍ය අරමුදල් වැඩසටහන යටතේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය මේ සමුළුව අමතමින් රජයට ප්‍රශංසා කළේය. පසුගිය කාලයේ ශ්‍රීලංකාව අත්කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය ද ඇය ඇගයීමට ලක් කළාය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී මුහුණ දීමට සිදු වූ බහුවිධ අභියෝග පෙන්වා දුන් ඇය ශ්‍රී ලාංකික ජනතාවගේ ධෛර්යය සහ කැපකිරීම් අගය කළ අතර, තිරසාර ලෙස ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සහතික කිරීම සඳහා ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අනුකූලව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළාය. එනම් අපට මෙතක් ආර්ථික අර්බුදය සමනය කර ගැනීමට පැමිණි ගමන්මගේ තවත් ඉදිරියට, අයිඑම්එෆ් එකඟතා ප්‍රකාරව ගමන් කිරීමට සිදුවනු ඇති බවයි.
සමුළුවේ ආරාධිතයින් පිළිගනිමින් කතා කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සාර්ව ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, කල්පවතින පරිවර්තනයක් සිදු කිරීමට නම් එය අභ්‍යන්තරයෙන් ම මෙහෙය විය යුතු බවත්, ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ වගකීම රට විසින් භාර ගත යුතු බවත් අධිපතිතුමා අවධාරණය කළේය. ශ්‍රී ලංකා මහ බැංකු පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සහ දූෂණ විරෝධී පනත වැනි ප්‍රධාන නීති රාමු කිහිපයක් ම සම්පාදන කිරීම මගින් ආර්ථික කළමනාකරණයට අදාළ ආයතනික හා නියාමන රාමුව ශක්තිමත් කර ඇති බව අධිපතිවරයා තම කතාවේ දී තවදුරටත් සඳහන් කළේය.
2022 දී ශ්‍රී ලංකාවේ ඇති වූ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය සහ එයින් අනතුරුව ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට සිදු කළ ප්‍රයත්න වෙතට සාකච්ඡාව යොමු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර විසින් මේ සමුළුවේ ආරම්භක සැසිය මෙහෙයවා ඇත. මෙහි විද්වත් මණ්ඩලයට භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන , ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් , දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්න සහ ශ්‍රී ලංකා බැංකු සංගමයේ සභාපති සනත් මනතුංග යන මහත්වරුන් ඇතුළත්ව සිට ඇත. මහ බැංකුව කියන පරිදි පොදුවේ මෙම විද්වත් මණ්ඩලය පෙන්වා දී ඇත්තේ සාර්ව සහභාගීත්වයකින් යුතු ප්‍රතිඵල සහතික කිරීම සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ජවය පවත්වා ගැනීම වැනි දැනට පවතින අභියෝග පිළිබඳව අවධානය යොමු කරමින්, ශක්තිමත් දේශපාලන අභිප්‍රායකින් සහ මනා ආයතනික සම්බන්ධීකරණයක් හරහා මෙරට ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ වේගවත්ව සිදුකිරීම සුවිශේෂී වූ බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී සහ ශ්‍රී ලංකාවේ හිටපු දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් මහතා විසින් “ණය තිරසාරභාවය සඳහා මාවත” යන පළමු සැසිය මෙහෙයවා තිබේ. පැරිස් සමාජයේ සම සභාපති විලියම් රූස් මහතා, මුදල් අමාත්‍යාංශයේ හිටපු ආර්ථික උපදේශක දේශාල් ද මෙල් මහතා, සිටි බෑන්ක්හි නැගී එන වෙළඳපොළ ප්‍රධානී ජොහානා චුවා මහත්මිය සහ ක්ලිෆර්ඩ් චාන්ස් ආයතයේ ප්‍රාග්ධන වෙළෙඳපළ සම්බන්ධ හවුල්කරු ඩෙබොරා සැන්ඩ්ස්ට්‍රා මහත්මිය, මෙම සැසිය සඳහා සහභාගී වී ඇත. සංකීර්ණ ණය හිමි ව්‍යුහයක් තුළ ශ්‍රී ලංකාවේ ණය කළඹ ප්‍රතිව්‍යුහගත කිරීමේ අත්දැකීම්, ගෝලීය ණය කළමනාකරණ ව්‍යුහය සකස් කිරීම සඳහා එමගින් ඇති කෙරෙන බලපෑම සහ අනාගත ණය තිරසාරභාවය රැක ගැනීම සඳහා උගත් පාඩම් මෙහි දී සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී මූල්‍ය අරමුදල සහ ණය උපදේශකයන් විසින් සිදු කෙරුණු වැදගත් කාර්යභාරය මෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී විනිවිදභාවය පවත්වා ගැනීමේ සහ එමගින් සිදුවන අලාභයන් සාධාරණ ලෙස දරා ගැනීමේ (මේ ගැන විවිධ විවේචන ඉදිරිපත්ව ඇත) වැදගත්කම මෙහිදී අවධාරණය කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නීති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අංශ ප්‍රධානී ජොයෙල් ටර්කෙවිට්ස් මහතා විසින් සමුළුවේ විශ්වාසනීයත්වය වෙත මාවත. නම් දෙවන සැසිය මෙහෙයවා ඇත. මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස් කේ. බී. රාජපක්ෂ මහතා, ඇඩ්වොකාටා ආයතනයේ සභාපති මුර්තාසා ජැෆර්ජි මහතා සහ මහාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා විසින් මෙම සාකච්ඡා වටයේ දී ඔවුන්ගේ අත්දැකීම් බෙදාගෙන තිබේ. මෙම විද්වත් සාකච්ඡාවේ දී සඳහන් කර ඇත්තේ යහපාලනය තිරසාර ප්‍රතිසංස්කරණයන්ගේ පදනම ලෙසයි. එසේම ආසියානු රටක් සම්බන්ධ කර ගනිමින් ප්‍රථම වරට සිදු කරන ලද ශ්‍රී ලංකාවේ පාලන නිර්ණ වාර්තාවේ වැදගත්කම ද මෙහිදී ඉස්මතු කෙරී ඇත. මෙම විද්වත් මණ්ඩල සාමාජිකන් මේ වන විට රටේ සිදුකර ඇති නෛතික හා ආයතනික ප්‍රතිසංස්කරණ පිළිබඳව අගය කර ඇති අතර, ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ එම ප්‍රතිසංස්කරණ සඳහා මහජන විශ්වාසය සහ සහයෝගය ශක්තිමත් කිරීමටත්, ප්‍රතිසංස්කරණවල සාධාරණත්වය සහතික කිරීමටත් මහජන අදහස් විමසීමක් සිදු කළ යුතු බවටත් අවධාරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් කිව යුත්තේ අදාළ ප්‍රතිසංස්කරණ සඳහා මහජන විශ්වාසය සහ සහයෝගය ශක්තිමත් කිරීමට හෝ ප්‍රතිසංස්කරණවල සාධාරණත්වය සහතික කිරීමට පසුගිය කාලයේ දී ප්‍රමාණවත් අවධානයක් මහ බැංකුව ඇතුළු බලධාරීන් යොමුකර නැති බවයි. එසේම ඒ සම්බන්ධයෙන් මේ කියන ආකාරයේ මහජන අදහස් විමසීමක් සිදු කරනුයේ කෙසේ ද යන්නත් පැහැදිලි නැත.
සමුළුව අවසන් වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදලෙහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් විසින් මෙහෙයවන ලද ‘අනාගත අභියෝග’ යන අවසන් සැසියෙනි. මෙම සැසිය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා , ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සහ, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ සහ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජික ආචාර්ය දුෂ්නි වීරකෝන් මෙනෙවිය සහභාගි වී ඇත. මෙහිදී ශ්‍රී ලංකාවට ප්‍රතිපත්තිමය වැරදි නැවත සිදු කිරීමට කිසිදු අවකාශයක් නොමැති බව ආචාර්ය ගෝපිනාත් මහත්මිය සඳහන් කර ඇත. ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ජවය පවත්වා ගැනීමේ සහ වැඩසටහන පිළිබඳ උනන්දුව හීනවීම වැළැක්වීමේ වැදගත්කම ද ඇය අවධාරණය කර ඇත. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විසින් වඩාත් සාධාරණ සමාජයක් ඇති කිරීම සඳහා රජයේ කැපවීම නැවත තහවුරු කරමින්, ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට සහ සංවර්ධන අරමුණු සඳහා සහාය වීම සඳහා සංවර්ධන හවුල්කරුවන් සමඟ අඛණ්ඩ සහයෝගීතාවකින් කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබේ. මෑතකාලීන ආර්ථික ජයග්‍රහණ තහවුරු කරමින් ව්‍යුහාත්මක හා ආයතනික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වාගෙන යාමත් සමඟ සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ තීරණාත්මක කාර්යභාරය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැහැදිලි කර ඇත. මේ අතර, දිගුකාලීන සාර්ව ආර්ථික ස්ථාවරත්වයේ මූලික පදනම ලෙස අපනයනාභිමුඛ වර්ධන උපාය මාර්ගයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අවධාරණය කර තිබේ. මහජන විශ්වාසය ශක්තිමත් කිරීම සහ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පිළිබඳ විශ්වසනීයත්වය නැවත ඇති කිරීම සඳහා පුළුල් ආයතනික ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව ආචාර්ය දුෂ්නි වීරකෝන් සඳහන් කර ඇත. මහ බැංකුව පවසන්නේ මෙම සමුළුව ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් වීමේ මාවතේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ අතර, එමගින් සාර්ව සහභාගීත්ව සංවර්ධනයක් සඳහා සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් පවත්වාගැනීමට සහ ආයතනික පාලනය වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකා රජයේ, මහ බැංකුවේ සහ මූල්‍ය අරමුදලේ ඒකාබද්ධ කැපවීම පැහැදිලි කෙරුණු බවයි.
මේ කරුණු අප සටහන් කළේ මෙම සමුළුව ගැන ශ්‍රී ලංකා මහ බැකුව විසින් මාධ්‍යයට එවන ලද සටහනක් ඇසුරිණි. මේ සම්බන්ධයෙන් අපට කීමට ඇත්තේ මේ ආර්ථික අර්බුදවලට කවුරුන් වගකිව යුතු වුවත් එසේම අවසානයේ එම අර්බුදවලින් මිදීම සඳහා කවර ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකළත් ඒවායින් වඩාත්ම පීඩාවට පත්ව ඇත්තේ සහ එම පීඩාවන් දරා ගැනීමට සිදුව ඇත්තේ රටේ අතිමහත් බහුතර සාමාන්‍ය ජනයාට බවයි. ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා මේ ආර්ථික ප්‍රතිසස්කරණ සිදු කිරීම අත්‍යවශ්‍ය වන නමුත් එම ආර්ථික පීඩනය දරා ගැනීමේ බර (ඒ සඳහා ඇති ශක්තිය අනුව) සමාජයේ විවිධ පාර්ශවයන් අතර සාධාරණ ලෙස බෙදී ගොස් නැති බවයි. ඒ ගැන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු අතර ඉදිරි ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දී මේ පිළිවෙත වෙනස් වන්නේ නම් එය රටේ සාමාන්‍ය ජනයාට සහනයක් වනු ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]