Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොළඹ දිනන බව කලින්ම කීවේ කොහොමද?
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොළඹ දිනන බව කලින්ම කීවේ කොහොමද?
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

කොළඹ දිනන බව කලින්ම කීවේ කොහොමද?

June 22, 2025
212 Views

පසුගිය සතිය දේශපාලනමය වශයෙන් තවත් තීරණාත්මක සතියක් විය. ඊට ලොකුම හේතුව වූයේ කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයක් පාලනය කාටදැයි ඉරණම තීන්දු වීම මේ පහුගිය සතියට යෙදී තිබුණු නිසාය. පළාත් පාලන ආයතන 339 අතරින් බහුතරයක බලය පිහිටු වූයේ කිසිදු ප්‍රශ්නයක් නැතුව ජාතික ජන බලවේගයයි. එහෙත් සැලකිය යුතු ආයතන සංඛ්‍යාවක සභාපතිවරයා මොන පැත්තෙන් පත්කරන්නේ දැයි තීරණයක් ගත නොහැකි විය. ඒ සෑම ආයතනයකම විපක්ෂය ඒකාබද්ධ වූ විට මාලිමාවේ කණ්ඩායමට වඩා වැඩි සභික සංඛ්‍යාවක් තිබීම හේතුවෙන් සභාපතිවරයා පත් කිරීම තීරණාත්මක කටයුත්තක් විය. ඒ තීරණාත්මක දිනය යෙදී තිබුණේ පසුගිය 16 වැනි සඳුදා දිනයටය.

මේ දිනවල මුළු ලොවම බලා සිටින්නේ මැද පෙරදිග කලාපයේ ඉහළ කෙළවරේ ඉරාන . ඊශ්‍රායල් කලාපයේ අහස දෙස වුවත් පහුගිය ඉරිදා සිටම දේශපාලනය සම්බන්ධයෙන් උනන්දු වු ලංකාවේ බොහෝ දෙනා බලා සිටියේ කොළඹ නගර සභාවේ බල තුලනය දෙසය. ලැබී තිබූ ඡන්ද ප්‍රතිඵලය අනුව විපක්ෂය එකතු වී බලය පිහිටුවන්නට ලංකාවේ පහසුවෙන්ම හැකියාව තිබූ පළාත් පාලන ආයතනය වූයේ කොළඹ මහ නගර සභාවයි. විපක්ෂය එක් වූයේ නම් බහුතරයකින් බලය ලබා ගන්නට කොළඹ විපක්ෂයට හැකියාව තිබිණි. එහෙත් ජාතික ජන බලවේගයේ රාජ්‍ය බලය, සංවිධානාත්මක ශක්තිය හා විපක්ෂයේ අසමගිය හේතුවෙන් කවර විසඳුමක් ලැබේදැයි ස්ථිරව කියන්නට කිසිවෙකුටත් හැකියාව තිබුණේ නැත. මාලිමාව කීවේ කිසිලෙසකත් බලය පිහිටුවන්නට විපක්ෂයට ඉඩකඩක් නොතබන බවයි.

එහෙත් කොළඹ තීරණාත්මක සාධකය වූයේ ස්වාධීන කණ්ඩායම් ය. එක් පැත්තක මාලිමාවේ කණ්ඩායම සිටියහ. අනිත් පැත්තෙන් සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, පොහොට්ටුව, පුටුව හා සර්වජන බලය එක්ව නගර සභාවේ බලය පිහිටුවන්නට බලා සිටියහ. මේ දෙපාර්ශ්වයටම බලය පිහිටුවන්නට නම් ස්වාධීන කණ්ඩායම් කිහිපයේ මන්ත්‍රීවරු දහ දොළොස් දෙනා ඉතාමත්ම වැදගත් සාධකයක් වූහ.

මාලිමාව දිනවන්න වටගල ගහපු ගේම

කොළඹ මහ නගර සභාව මාලිමාවට දිනාදීමේ මෙහෙයුමේ ප්‍රධාන මෙහෙයුම්කරුවා වූයේ රාජ්‍ය ඇමැති සුනිල් වටගලයි. විපක්ෂයේ බලවේගය එකට එකතු වී ස්වාධීන කණ්ඩායම් හා සාකච්ඡා කරන්නා සේම සුනිල් වටගල ද පසුගිය සති කිහිපය ගත කළේ ස්වාධීන කණ්ඩායම් හමුවෙමින් හා සාකච්ඡා කරමිනි. ස්වාධීන කණ්ඩායම් පැත්තෙන් බලන විට ඔවුන්ට ද කිසිදු බලයක් නැති විපක්ෂය සමග එකතු වී කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන්නට උදව් කරනවාට වඩා ආණ්ඩු බලය හොබවන ජාතික ජන බලවේගය හා එක් වීම ඔවුන්ගේ දේශපාලන ශරීර සෞඛ්‍යයට ඉතා වැදගත් කාරණාවක් බවට ඔවුහු දැන සිටියහ.

කොළඹ ස්වාධීන කණ්ඩායම්වල ස්වභාවය අනෙකුත් දේශපාලන පක්ෂවල ස්වභාවයට වඩා වෙනස්ය. කොළඹ නාගරිකයේ පිහිටි වතු සංස්කෘතිය හා ලේන් සංස්කෘතිය මෙන්ම නාගරික මහල් නිවාස සංස්කෘතිය ටිකක් අමුතුය. පක්ෂ දේශපාලනය ඔවුන්ට ඒ තරම් වැදගත් නොවේ. මේ සංස්කෘතීන් ඇතුළේ අති බහුතරය එක්කෝ දෙමළය. නැත්නම් මුස්ලිම් ය. ඒ නැතත් ඔවුන් බොහෝ විට ඒකරාශී වී සිටින්නේ යම් යම් වෙළෙඳාම් වටාය. යම් යම් වෘත්තීන් වටාය. යම් යම් උප සංස්කෘතීන් වටාය. කඩේ ණයට බඩු දෙන මුදලාලි හෝ පොලියට සල්ලි දෙන පුද්ගලයාගේ දේශපාලනය ඔවුන්ට ජාතික තලයේ දේශපාලනයට වඩා අතිශයින් වැදගත්ය. එබැවින් එවන් සංස්කෘතියක් මුල් කරගෙන බල කඳවුරක් තනාගන්නා යම්කිසි කැපී පෙනෙන පුද්ගලයකුට ඔහු ජීවත්වන මහල් නිවාස සංකීර්ණයේ හෝ ලේන් එකේ හෝ වත්තේ ඡන්ද ටික එම කලාපයේ මන්ත්‍රීවරයා බවට පත්වන්න හොඳටෝම ප්‍රමාණවත් ය. මේ කැපී පෙනෙන ස්වාධීන කණ්ඩායම්වලින් බහුතරයක් ජයග්‍රාහකයෝ තේරී පත් වී සිටින්නේ එවන් උපසංස්කෘතීන්වල නියෝජිතයින් හැටියටය.

එබැවින් එවන් උපසංස්කෘතීන් සමග ගනුදෙනු කිරීම පාලක පක්ෂයකට ඉතාම පහසුය. පාලක පක්ෂය සමග දේශපාලනිකව අනුගත වී පක්ෂපාතිත්වය පළකිරීම ඔවුන්ගේ අනාගත සුබ සිද්ධිය හා ආරක්ෂාව වෙනුවෙන් අතිශයින් ප්‍රයෝජනවත්ය.

එහෙත් මේ ස්වාධීන කණ්ඩායම් හා මන්ත්‍රීවරු අතරින් එක් කුඩා කණ්ඩායමක් හැර අනිකුත් සියලුම දෙනා මේ පාර්ශ්ව දෙකම සමග සාකච්ඡා කරමින් සිටියහ. තමන්ට වාසි ප්‍රයෝජන වඩාත් වැඩියෙන් ලබාගත හැක්කේ කාගෙන්දැයි අත්හදාබලමින් සිටියහ. වෙන් වෙන්ව ඔවුන්ට සහයෝගය දෙනවා යැයි දෙපැත්තටම පොරොන්දු වූවාට සැකයක් නැත.

මුජිබර් රහුමාන්ට ඇතුළෙන්ම ආ අභියෝග

මේ අතර සමගි ජන බලවේගය වෙනුවෙන් කොළඹ බලය විපක්ෂය වෙත ලබා ගැනීමේ මෙහෙයුම භාරව කටයුතු කළේ ද සුළුපටු පුද්ගලයෙක් නොවේ. ඒ මුජිබර් රහුමාන්ය. මුජිබර් කොළඹ නාගරිකයේ මුස්ලිම්වරුන්ගේ නායකයා පමණක් ම නොවේ. සැලකිය යුතු සිංහල දෙමළ නාගරික උප සංස්කෘතීන්වල සහයෝගයක් ද ඔහුට තිබිණි. නාගරික සුළු ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් ඔහු නිතර දෙවේලේ පෙනී සිටි බැවින් ඔවුන්ගේ සහයෝගය නොඅඩුව මුජිබර්ට ඇති බව රහසක් නොවීය.

තත්ත්වය මෙසේ වුවත් සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ කොළඹ බලය සම්බන්ධයෙන් ලොකු බෙදීමක් ද තිබුණු බවට කතා තිබේ. කොළඹ නායකයා ලෙස මුජිබර් කැපී පෙනුනත් ඔහුට අභියෝග කරන තත්ත්වයක සජබෙ ඇතුළේම තවත් මුස්ලිම් නායකයෙක් සිටියේ නම් ඒ මරික්කාර්ය. මරික්කාර් කොළඹ බලය විපක්ෂයට ලබා දීමේ සටනට මුජීබර්ට සහාය දුන්නා ද නැද්ද යන කාරණාව විවාදිතය. මරික්කාර් කොළොන්නාව බලා ගත්තේය. මුජිබර් පාඩුවේ කොළඹ වැඩකටයුතු බලා ගත් බව ප්‍රකටය.

කොළඹ දිනා ගැනීමේ සටනට තනිවම නායකත්වය දුන් මුජිබර් පසුගිය ඉරිදා හැන්දෑවේ විපක්ෂයට සහයෝගය ලබාදෙන සියලුම නාගරික මන්ත්‍රීවරුන්ට කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයට ආරාධනා කළේය. මුජිබර් ඔවුන් වෙනුවෙන් එහි ඉහළ මට්ටමේ සුහද සාදයක් ද සහිතව නවාතැන් ද සූදානම් කර තිබූ බව වාර්තා විය. ලාල් නමින් හැඳින්වූ පුද්ගලයාගේ නියෝජිතයන් තිදෙනාම මාලිමාව සමග දිගින් දිගටම ගනුදෙනු කළ බැවින් මේ සඳහා පැමිණ සිටියේ නැත. සහයෝගය දෙන්නට සූදානම්ව සිටි පොහොට්ටුවේ මන්ත්‍රීවරු පස්දෙනා ද පැමිණ සිටියේ නැත. ඒ හැරුණ විට සැලකිය යුතු මන්ත්‍රීවරු පිරිසක් මුජිබර්ගේ ඉරිදා පාටියට පැමිණ කමින් බොමින් විනෝද වූ බව වාර්තා වේ. ඒ අනුව ගණන් හැදුව මුජිබර් රහුමාන් ප්‍රමුඛ සජබෙ කණ්ඩායම නිසැකවම තමුන් මෙවර කොළඹ නගර සභාවේ බලය අල්ලන බවත් නිසැකවම එහි නගරාධිපති තනතුර රීසා සරුක්ට ලබාදෙන බවටත් විශ්වාස කළහ.

මේ අතරතුර ස්වාධීන කණ්ඩායම්වලින් පැමිණ සිටි මන්ත්‍රීවරු කීපදෙනාගේ මැසිවිල්ලක්ද තිබිණි.

“නගරාධිපති තෝරන ඡන්දේ රහස් ඡන්දයක් වුණානං තමයි හොඳ. එහෙම නම් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව රිසා සරුක් මැතිතුමාට ඡන්දෙ දීලා පාඩුවේ බලාගෙන ඉන්න පුළුවන්.”

“ඔව්… බල්තසාර් නෝනට ඡන්ද නොදී ගමට එන්න එපා කියලා අපිට සමහර පාර්ශ්වවලින් තර්ජන තියෙනවා… රහස් ඡන්දයක් ආවනං අපිට ඔය කිසි ප්‍රශ්නයක් නෑ…”

එහෙත් නගරාධිපති අපේක්ෂක රීසා සරුක් ඇතුළු බහුතරයක් දෙනා රහස් ඡන්දයකට කැමති වූයේ නැත. එහෙම වුණොත් නැති ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් යන මතයේ ඔවුහු සිටියහ.

“විවෘත ඡන්දකට බයවෙන්න එපා… අපිත් ඉන්නෙ කොළඹ තමා. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අපි ඉන්නවා ඕගොල්ලන්ගේ ආරක්ෂාවට…” මුජිබර් ඇතුළු කිහිපදෙනෙක්ම ඔවුන්ගේ භය නැති කරමින් කතා කළහ.

සඳුදා උදේ මාලිමාවේ සුනිල් වටගල නිසැකවම කොළඹ මහ නගර සභාවේ බලය තමන් අල්ලන බවට අනාවැකි පළ කළේය. විපක්ෂයේ අසමගිය තුළින් නොව, මේ ආණ්ඩුව හා ජනාධිපතිවරයා කෙරෙහි කොළඹ නගර සභාවේ ස්වාධීන කණ්ඩායම්වල හා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු තබා ඇති විශ්වාසය තුළින් නිසැකවම මාලිමාවේ කණ්ඩායම ජයග්‍රහණය කරන බවට ඔහු එකහෙළාම කියා සිටියේය.

කවුරුන් මොනවා කීවත් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම එදා නගර සභා ශාලාවේ පැවැති නාගරික කොමසාරිස්වරියගේ රැස්වීමට සහභාගි වූයේ බලවත් විශ්වාසයකින් යුතුවය. ඔවුන් කල් තියාම සූදානම් කරගත් සමගි ජන බලවේගයට විශ්වාසය පළ කරන කොළඹ නාගරික මන්ත්‍රීවරු 61 දෙනෙකුගේ අත්සන් සහිත නාමලේඛනයක්ද ළඟ තබාගෙන සිටියහ. ඒ අත්සන් සහිත නාම ලේඛනය කෙරෙහි නගරාධිපති අපේක්ෂක රීසා සරුක් ඇතුළු කණ්ඩායම ලොකු විශ්වාසයකින් සිටින බව පෙනෙන්නට තිබිණි.

රහස් ඡන්දයකට යන්න සජබෙ ඇතුළෙන් ඉල්ලීම්

“මොනම හේතුවක් නිසාවත් රහස් ඡන්දෙකට කැමති වෙන්න එපා. විවෘත ඡන්දයක් ඉල්ලා සිටින්න…” මුජිබර් රහුමාන් සිය කණ්ඩායමට උපදෙස් දුන්නේ එසේය. එහෙත් කොළඹ ඔවුන්ට සහයෝගය පළ කරන ස්වාධීන කණ්ඩායම්වල මන්ත්‍රීවරුන් රහස් ඡන්දයක් වෙනුවෙන් කැමති වන්නැයි මුජිබර්ලාගෙන් ඉල්ලා සිටියහ.

මේ අතර කල්තියාම සර්වජන බලය වෙතින් සමගි ජන බලවේගයට එක්තරා ඉල්ලීමක් පැමිණ තිබිණි.

“අපි හැම පළාත් පාලන ආයතනයකම සහය දෙන්නේ විපක්ෂයට. ආණ්ඩු පක්ෂයට, ඒ කිව්වේ මාලිමාවට සහයෝගය දෙන්නේ නැහැ. අපේ සහයෝගය ගන්න නම් ඉදිරිපත් කරන නගරාධිපති අපේක්ෂකයා හෝ සභාපතිවරයා ඒ සඳහා සුදුසුකම් ලැබූ යහපත් පුද්ගලයෙක් වෙන්න ඕන. අන්න එහෙමද නැද්ද කියලා බලලා තමයි අපි අපේ සහයෝගය දෙන නොදෙන එක තීරණය කරන්නේ… කොළඹ මහ නගර සභාවට ඉදිරිපත් කරපු නගරාධිපති අපේක්ෂකයා නම් ඒ සඳහා සුදුසු නෑ. ඕගොල්ලොන්ට දාසය වෙනිදා උදේ වෙනකම් වෙලාව තියෙනවා ඒ සඳහා හැමෝම කැමැති, සුදුසුකම් සහිත යහපත් පුද්ගලයෙක් ඉදිරිපත් කරන්න…”

කෙසේ වෙතත් සමගි ජන බලවේගය එම ඉල්ලීමට අවසානය දක්වාම අනුකූලතාවයක් දක්වා තිබුණේ නැත. එහෙත් සඳුදා උදේ වන විට සර්වජන නියෝජිතයන් කොළඹ දී විපක්ෂයේ අපේක්ෂකයාට සහයෝගය පළ කරන බව කල් තියා දන්වා තිබිණි.

එදින කොළඹ නගර ශාලාවේ පැවැති කොමසාරිස්වරියගේ රැස්වීම ආරම්භයේ පටන්ම ගාලගෝට්ටි සහිත එකක් විය. නගර සභිකයෝ විමසා සිටියේ ඡන්දය පැවැත්වීම ගැනය. කොමසාරිස්වරිය කීවේ තමන්ට ඒ සඳහා උපදෙස් දෙන පනතක් තිබෙන බැවින් තමන් ඒ පනතට අනුකූලව වැඩ කරන බවයි.

විපක්ෂයේ කණ්ඩායම මේ වෙලාවේ අත්සන් 61ක් සහිත විපක්ෂයෙන් නාම ලේඛනයක් ඉදිරිපත් කරමින් කොමසාරිස්වරියගෙන් විවෘත ඡන්දයක් පවත්වන ලෙස ඉල්ලා සිටියහ. මේ තත්ත්වයට ඉදිරිව මාලිමාවේ කණ්ඩායම පෙන්වා දුන්නේ රටේ අභිවෘද්ධියට හා නගරයේ අභිවෘද්ධියට කැමති ඕනෑම අයෙකුට තම ඡන්දය නිදහසේ පාවිච්චි කරන්නට හැකි වන සේ රහස් ඡන්දයක් පැවැත්වීම අන්තිම සාධාරණ බවයි. මෙම ප්‍රශ්නය ටික වෙලාවක් ඇතුළේ උණුසුම්ව සාකච්ඡාවට ගැනිණි.

“මම වැඩ කරන්නේ පනතට අනුව. පනතේ තිබෙන ප්‍රතිපාදන අනුව දැන් දෙපාර්ශ්වයක් නගරාධිපති තරගයට ඉදිරිපත් වී තිබෙන බැවින් පවත්වන ඡන්දය විවෘත එකක්ද රහස් එකක්ද කියලා තීරණය කරන්න තවත් ඡන්දයක් පවත්වන්න වෙනවා.”

මේ වෙලාවේ රෝයි බෝගහවත්ත ප්‍රමුඛ විපක්ෂයේ නියෝජිතයන් විශාල පිරිසක් රහස් ඡන්දයක් පැවැත්වීමට එරෙහිව අදහස් දක්වමින් කෑ කෝ ගහන්නට වූහ.

මේ අතර දෙමළ, මුස්ලිම් ස්වාධීන නියෝජිතයන් කිහිපදෙනෙකුගෙන්ම නගරාධිපති අපේක්ෂක රිසා සරුක්ට එල්ල වූ බලපෑම සුළුපටු වූයේ නැත. ඔවුන් තරයේ ඉල්ලා සිටියේ තමන්ව විශ්වාස කරන ලෙසය. තමන්ගේ ආරක්ෂාව හා පහසුව සලකා රහස් ඡන්දයකට එකඟවන්නයි ඔවුන් රිසාගෙන් ඉල්ලා සිටියහ.

එය අතර විපක්ෂයේ නියෝජිතයන් කීපදෙනෙක්ම දුරකථනවලට උත්තර දෙන ආකාරයක් දැක ගත හැකි විය. එක් අවස්ථාවක දුරකථනය කනේ තබාගෙනම රෝයි බෝගහවත්ත එළියට පැමිණියේය. ඒ සමගම තවත් නියෝජිතයින් පිරිසක් ද එළියට පැමිණ කා සමගදෝ වේගයෙන් කතාබහ කරනු බලා සිටියවුන්ට දැක ගත හැකි විය. අවසානයේ ඔවුන් සභාගැබට පැමිණ යළිත් කොමසාරිස්වරිය හා සාකච්ඡා කරන්නට වූහ.

“රහස් ඡන්දය පවත්වනවාද නැද්ද කියලා රහස් ඡන්දයක් පවත්වන්න ඕන.”

“රහස් ඡන්ද දෙකක් වැඩක් නෑ…, එහෙම නම් එක පාරම රහස් ඡන්දයක් පවත්වල නගරාධිපති කවුද තීරණය කරන්න.”

මේ වෙලාවේ සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂක රිසා සරුක්ගේ ද අදහස රහස් ඡන්දයකට බව පැහැදිලි විය. ඔහුගෙන් සංඥාවක් ලැබුණු රෝයි බෝගහවත්ත තම යෝජනාව ඉල්ලා අස් කරගත්තේය. ඒ අනුව සියල්ලෝම ඒකමතිකව රහස් ඡන්දයකට එකඟත්වය පළකර සිටියහ.

අවසානයේ සිදුවූයේ 61ක් නම් දී අත්සන් කර රිසා සරුක්ට කැමැත්ත පළ කර සිටි මන්ත්‍රීවරුන් අතරින් සැලකිය යුතු කණ්ඩායමක් මාලිමාවට ඡන්දය දී ව්‍රායි කැලී බර්තසාර් මහත්මිය නගරාධිපතිවරිය ලෙස පත්කර ගැනීමයි.

බල්තසාර් දිනන බව පොහොට්ටුව දන්නවාලු

විපක්ෂයට ඉතා පහසුවෙන් දිනාගන්නට තිබූ ලංකාවේ ලොකුම මහ නගර සභාව මාලිමාව අතට පත් වූ එම මෙහෙයුම ජයග්‍රහණය කළ සුනිල් වටගල . බල්තසාර් මැතිනිය ප්‍රමුඛ මාලිමාවේ කණ්ඩායම එසේ ජයගෙන ජයග්‍රහණය සමරමින් සිටියදී මුජිබර් රහුමාන් ප්‍රමුඛ සමගි ජන බලවේගයේ ඔහු වටා සිටි කණ්ඩායම පිටත්ව ගියේ මේ මහා පාවාදීම ගැන ඇතුලාන්තයේ පිරිසකට ද හොඳ හැටි දෝෂාරෝපණය කරමිනි.

“මොකද වුණේ…” මාධ්‍ය මුජිබර් වට කරගෙන විමසන්නට වූහ.

“මොනවා වෙන්නද… රහස් ඡන්දයක් ඉල්ලනව කියන්නෙම ඇතුළාන්තේ කුමන්ත්‍රණයක් තියෙනවා කියන එක. ඇතුලෙ කුමන්ත්‍රණයක් තියෙනවා තමයි. අපි පුදුම වෙන්න ඕන ඒකට නෙවෙයි. මෙච්චර කාලයක් ජනතා විමුක්ති පෙරමුණ කරපු දේශපාලනයට අනුව ඔවුන් කවදාවත් රහස් ඡන්දවලට එකඟ වෙලා නෑ. ඔවුන් රහස් ඡන්දවලට විරුද්ධව කතා කරපු අය. එහෙම පිරිසක් මේ වෙලාවේ අවස්ථාවාදීව බලය වෙනුවෙන් තම ප්‍රතිපත්ති පාවාදීලා ඉතාමත් ලජ්ජා සහගත ලෙස රහස් ඡන්දයකින් පල ප්‍රයෝජන ගැනීම මට නම් හිරිකිතයි. අප්‍රසන්නයි…” මුජිබර් කීවේය.

මේ අතරින් කොළඹ මහ නගර සභාවේ ප්‍රතිඵලය ගැන විවිධ පාර්ශ්ව විවිධ තැන්වල කතාබස් වෙමින් සිටියහ. පොහොට්ටුවේ පිරිසක් ද මේ ගැන සාකච්ඡා කරමින් සිටින අතරතුර එක් අයෙක් රහසිගත කාරණාවක් හෙළිදරව් කළේ මෙසේය.

“අපි නම් ඕක පරදිනවා ඊයේ හැන්දෑවෙම දන්නවා…”

“ඒ කොහොමද ඕගොල්ලා දන්නේ… කොමසාරිස්තුමිය එතකොට ඡන්ද තියලවත් නෑ.”

“සජබෙ අපේක්ෂකයාව පරාජයට පත් කරන්න සජබෙ ඇතුලෙන්ම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා.”

“ඒ කියන්නේ මරික්කාර් ගැනනේ.”

“කෙහෙල් මල… ඒ මනුස්සයාට මුජිබර් එක්ක ප්‍රශ්නයක් ඇති. හැබැයි කුමන්ත්‍රණ කරන මිනිහෙක් නෙවෙයි. ඔය පක්ෂයේ ඉහළම තැන ඉන්න කෙනෙක් එක්ක දැඩි සම්බන්ධකමක් තියෙන එක්තරා ව්‍යාපාරිකයෙක් පොහොට්ටුවෙ ලොක්කෙකුට කතා කරලා කියලා තියෙනවා පුළුවන් නම් ඔයගොල්ලන්ගේ පස්දෙනාම දාසය වැනිදා ඡන්දෙට නොයවා ඉන්න කියලා.”

“කාටද මහින්ද මහත්තයට ද.”

“නෑ නෑ එච්චර උඩට නෙවෙයි. නිලධාරියෙකුට. නිලධාරියෙක් කිව්වලු අපි එකඟතාවක් ඇති කරගෙන තියෙනව ඒ අනුව අපි පස්දෙනාම කොමසාරිස්ගේ රැස්වීමට යවනවා. ඕගොල්ලන්ට ඕන නම් ඕගොල්ලන්ගේ අය නොයවා ඉන්න කියලා.

“ඒ කතාව විශ්වාස කරන්නත් අමාරුයි.”

“විශ්වාස නොකර ඉන්න එපා… දැන් කතාව යයි ලාල්ගෙ මැර බලය හින්දා මේගොල්ලෝ රහස් ඡන්දයක් ඉල්ලුව කියලා. නෑ රහස් ඡන්දයක් තියාගන්න ලොක්කන්ටත් උවමනාවක් තිබුණා. හැබැයි මුජිබර් දන්නෙ නෑ…” මේ සාකච්ඡාව ඇතිවුණ තැන පොහොට්ටුවේ දෙවන පෙළ ඉහළම නායකයෝ කිහිපදෙනෙක්ම සිටියහ.

මළගෙදර නිදි වර වර මෛත්‍රී කිව්ව රස කතා

පසුගිය සති අන්තයේ මළ ගෙවල් කීපයක්ම පැවතිණි. එක් මළගෙයක් තිබුණේ කැලණියේ මල්වාන ප්‍රදේශයේ ය. මියගොස් සිටියේ ශ්‍රී ලංකාවේ 11 වන යුද හමුදාපතිවරයා වන හැමිල්ටන් වනසිංහ මහතාය. ආරක්ෂක ක්ෂේත්‍රයේ ප්‍රධානීන් මෙන්ම ප්‍රධාන පෙළේ දේශපාලනඥයෝ ගණනාවක් ද මෙම සුවිශේෂී මළ ගෙදරට සහභාගි වීම විශේෂත්වයක් විය.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනත් මෙම නිවසට ගොඩ වූයේ හැමිල්ටන් වනසිංහ මහතා හා ඔවුන්ගේ පවුලේ අය සමග තිබූ දීර්ඝකාලීන සම්බන්ධතා නිසාය. ඒ මොහොතේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙන්ම හිටපු යුද හමුදාපතිවරයකු වූ ශවේන්ද සිල්වා ද මළ ගෙදරට පැමිණ සිටීම විශේෂත්වයකි. ශවේන්ද්‍ර, වජිර හා ෆොන්සේකා ටික වේලාවක් පසෙකට වී වාඩි වීම බොහෝ දේශපාලන කරුණු කාරණා මෙන්ම රට ඉදිරියේදී මුහුණපාන ප්‍රශ්න ගැන සාකච්ඡා කරමින් සිටියහ. ඉරාන හා ඊශ්‍රායල් යුද්ධය ගැන ද කරුණු කාරණා ඒ අතර සාකච්ඡා විය.

මොකද ලීඩර් මේ පැත්තෙ ආවෙ නැත්තෙ..

එතුමා මේ වෙලාවේ රුසියාවේ සංචාරයක නිරත වෙලා ඉන්නේ. මම එතුමට දුරකථන ඇමතුමක් අරගෙන දෙන්න පොරොන්දු වුණා. ඉස්සෙල්ල ඒ යුතුකම ඉටුකරන්නම් කෝ කියමින් රුසියාවේ සිටි රනිල් වික්‍රමසිංහට දුරකථනයෙන් ඇමතුමක් ගත් වජිර එම පණිවිඩය වනසිංහ පවුලේ අය වෙත ලබා දෙන්නට කටයුතු කළේය.

ඉන් අනතුරුව බොහෝ වෙලා යනතුරු හිටපු හමුදාපතිවරු දෙදෙනාත් වජිරත් සාකච්ඡා කරමින් සිටියේ රටේ තත්කාලීන දේශපාලන සමාජ ආර්ථික වාතාවරණය ගැනය.

එම සති අන්තයේ තවත් තැනක දේශපාලනඥයෝ මීටත් වඩා සහභාගි වූ තවත් මළගෙදරක් තිබිණි. ඒ පානදුරේ පරත්ත නම් තැන පිහිටි නිවසකය. නෙත් මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා වූ හේමන්ත කහපලගේ මහතාගේ පියාණන් මෙසේ මිය ගොස් සිටි අතර දේශපාලනඥයෝ හා මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් එහි පැමිණ සිටීම ම විශේෂත්වයකි. හිටපු ජනාධිපතිවරු, හිටපු ඇමැතිවරුන් හා වර්තමානයේ සිටින ඇමැතිවරු ද බර ගණනකි.

බන්දුල ගුණවර්ධන පැමිණ සිටින අවස්ථාවේ සජිත් ප්‍රේමදාස ද පැමිණියේය. සජිත් තරමක් අසනීපයෙන් සිටින බව හෙළි විය. ඔහු සිටියේ මුවාවරණයක් පැළඳ ගෙනය. කලකට පසු සජිත්ට බන්දුල මුණගැහුණු අවස්ථාවේ බන්දුලගෙන් අහන්නට ආර්ථිකමය කරුණු කාරණා රැසක් ම විය.

“මොකද ඔබතුමා හිතන්නේ මේ ආණ්ඩුව මේ අරන් යන ආර්ථික පිළිවෙත ගැන.”

“කතා කරපු දේවල් වගේම වැඩත් ඉතිං තියෙන්න ඕන.”

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක මේ තියෙන ගනුදෙනුව දිගටම තියාගනියි කියලද හිතෙන්නෙ.”

“ගනුදෙනුව නම් තියේවි… හැබැයි ඒගොල්ලෝ කියන දේවල් හරියාකාරව අහනව ද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. රටේ මුදල් සංචිත ඒ කියන අයුරින් ආරක්ෂා වෙනවද නැද්ද කියල ප්‍රශ්නයක් එනවා. ඊළඟට බදු. මට නම් හිතෙන්නේ මේ යන විදිහට ජනතාවට මේ බදු බර උහුලගන්න බෑ. එක ප්‍රතිපත්තියක කිසි දෙයක් නෑ.”

මේ අතර සුසිල් ප්‍රේමජයන්ත ද එතැනට පැමිණ සාකච්ඡාවට හවුල් වූයේය.

මේ අවස්ථාවේ පානදුර ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් පැමිණ සජිත්ගේ අතෙහි පිරිත් නූලක් ගැට ගහන්නට සූදානම් විය. සජිත් අත දික් කර එය පිළිගත්තේය.

“ඔබතුමා තමයි මගේ උපන් දිනයට උදේ පාන්දර නොකඩවාම කතා කරලා සුබ පතන කෙනා. පියාණන් වගේම කවදාවත් ඔබතුමා ඒ ගුණය වරද්දන්නේ නෑ… ඔබතුමාට දිගු ගමනක් තියෙනවා ඔබතුමා තමයි මේ රටේ ඊළඟ ජනාධිපති… ඔබතුමාගේ පියා මේ රටේ පුංචි මිනිස්සු වෙනුවෙන් ගොඩක් වැඩ කරපු කෙනෙක්. මං හිතන්නේ ඔබතුමාටත් ඒ පින් මහිමය තියෙනවා. ඔබතුමාටත් දුප්පතුන් දැක්කම හිත උණුවෙන හදවතක් තියෙන්නේ.” සජිත් අපහසුතාවයට පත් වී අනෙක් අයගේ මුහුණු බැලුවේ…. දැන් වැඩියිද මන්දා… කියන්නාක් මෙනි.

නාමල් රාජපක්ෂ හේමන්තගේ හොඳ මිතුරෙකි. සජිත් පිටත්ව යනවාත් සමගම නාමල් මළගෙදරට පැමිණෙන්නේ දේහයට අවසන් ගෞරව දක්වා දේශපාලනඥයින් වාඩිවී සිටි පැත්තට පැමිණියේ කලකට පසුව මළගෙදරකදී හමු වූ දේශපාලනඥයින් හා කතා බහ කරන්නටය. වජිර අබේවර්ධන හා කරු ජයසූරිය ද පැමිණ සිටියහ. මේ අතර පානදුර ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයෝ ගණනාවක්ම පැමිණ නාමල්ට දේශපාලනයේ දුක කියන්නට වූහ. විවිධ කණ්ඩායම් සමග පහුගිය දිනවල ගනුදෙනු කළ ඔවුන් නාමල්ට කීවේ ඔබතුමා හැර අපට වෙනත් විකල්පයක් නැති බවය.

නාමල් ප්‍රාදේශීය දේශපාලනඥයින් සමග කතාබස් කරමින් එතන දිගින් දිගටම රැඳී සිටි අතර තවත් සුවිශේෂී පුද්ගලයෙක් පැමිණ නාමල් ළඟ වාඩි වූයේ ඒ අතරතුරයි. ඒ පුද්ගලයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි. නාමල් ඉදිරිය දෙස බලා වාඩිවී සිටියදී ඔහුගේ වම් උරහිසට තට්ටුවක් දමමින් මෛත්‍රි ඒ සෝපාවේම වාඩි වී ඉතා ළෙන්ගතුකමින් කතාබහ ආරම්භ කළේය.

නාමල් හා මෛත්‍රී අතර කතා බහ දේශපාලනයෙන් තොරව ආරම්භ විය. ඔවුන් ආගිය තොරතුරුවලින් පසුව පුද්ගලික කරුණු කාරණා ගැන ද කතාබහ කරමින් අතීත තොරතුරු කතාබහ කරන්නට ද වූහ. වටපිටේ අහගෙන සිටි ප්‍රාදේශීය දේශපාලනඥයින්ට පවා රසවත් කතාවක් වූයේ මෛත්‍රීගේ අතීත ආදර අන්දරයයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බිරිඳ ජයන්ති මහත්මියයි. මෛත්‍රීට ජයන්ති හමුවූ ආකාරය මෙහිදී මෛත්‍රී විස්තර කළේ රසබර අතීත තොරතුරුවලින් පිරි කතාවක් ලෙසයි.

“ජයන්ති කුරුණෑගලදි නේ මම මුලින්ම දකින්නේ… එයා මාමලයි ගෙදර ඒ දවස්වල ඉඳලා තියෙනවා. මම රජ ඉලන්දාරියෙක් කාලේ ඒ ගෙදර ඉස්සරහින් බයිසිකලේ පැදගෙන යනවා. ඔන්න ඔහොම යන ගමනකදි තමයි දැකලා හිත වැටුණේ. ඉතින් මම එහෙ යනවා මෙහෙ යනව ඔය ගේ ඉස්සරහින් දවසට විසි තිස් පාරක් එහාට මෙහාට යන්නේ අර මනුස්සයා ඉන්නවද කියල දැක බලා ගන්නවා.

“ඉතින් කොහොමද ඔබතුමා අවධානය දිනා ගත්තේ.”

“ඒකට මම යස උපායක් කල්පනා කළා. ඉස්සර ඉතින් දැන් කාලේ වගේ ටෙලිෆෝන් සෙල්ෆෝන් මුකුත් නෑනේ… මම ජයන්තිගේ වංහුං, නෑදෑයෝ, ඔක්කොම දැනගෙන ජයන්තිගේ අම්මා ලියන විදියට ලියුමක් ලියලා මේ ගෙදරට එව්වා. මුල්ම ලියුම් දෙක තුනට ජයන්තිත් අහු වුණා. පස්සේ දැනගත්තා මේ අම්ම වගේම ලියල එවන්නෙ වෙන කවුරු හරි කෙනෙක් කියලා. ඔන්න එතකොට මම ගාණට ලියුම ඇතුළට ගිහිල්ලා මං ගැන විස්තර කියල තමයි අපි දෙන්න හාද උනේ.”

“ඒක කදිම උපක්‍රමයක්නේ ජනාධිපතිතුමා.”

“ඔව් ඔව්… ඒ කාලේ ගෑනු ළමයෙක් යාළු කරගන්න එක අද කාලේ වගේ ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ඉතින් අපි දෙන්නගෙ වාසනාව පෑදුනා. ඔන්න ඔහොම තමයි අපේ හාදකම ආරම්භ උනේ. පස්සෙ ඉතින් ඔය නෑදෑයෝ ඔක්කොටම හොරෙන් අපි අපේ ගමනේ ගියා. අන්තිමට අපි පොලොන්නරුවේ යන්නැතුව ගම්පහ ඇවිල්ල අපේ ගමේ තමයි නතර වුණේ.”

“ඒ කිව්වේ විවාහයක් නැතුව පැනලා ගියා වගේ වැඩක්ද.”

“නෑ නෑ… ඔක්කොම කළා. මම තමයි මූලික වෙලා මගේ හඳහන ගිහින් දුන්නේ එයාලට බලවන්න. දන්නෙ නෑ. ඒ හඳහන බලපු ඒ ඇත්තිගේ ඥාතියෝ මේ කසාදෙට ඉහළින්ම කැමති වෙලා. මොකක් හරි රාජයෝගයක් ගැන කරුණු කාරණා ඒ හඳහනේ තියෙන්නත් ඇති. කවුද ඉතින් අකැමැති තමන්ගෙ දරුවෙක්ව රටේ රාජ්‍ය නායකයා වෙන්නෙ ඉඩ තියෙන කෙනෙක්ට කසාද බන්දලා දෙන්න. මුලදි මම දන්නේ නෑ. පස්සෙනේ ඉතිං අපිට මේවා ආරංචි වෙන්නේ.”

සිනා සාගරයක් සේ ගලා ගිය මේ කතා බහ තවත් බොහෝ මාතෘකා ඔස්සේ දිගට ඇදී ගියේය. අවසානයේ නාමල් එතැනින් සමුගෙන යද්දි මෛත්‍රීත් තමන්ගේ වෙනත් කටයුත්තක් ගැන කියමින් ආපසු එන්නට සූදානම් වූයේය.

බුලිත ප්‍රදීප් කුමාර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
විශේෂාංග

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

අතිරේක විශේෂාංග

ජීවිතයේ දුක නුවණින් වටහා ගනිමු

අතිරේක විශේෂාංග

ආතරයිටිස් සහ රක්තවාතය හඳුනාගනිමු

විශේෂාංග

කාන්තාවන්ගේ මාසික ඔසප් සමයේදී පවුල් අවුල් වැඩිවන්නේ ඇයි?

විශේෂාංග

කථානායකවරයාගෙන් ඔබ්බට ගිය ප්‍රශ්නයක්!

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok