මෙතෙක් කලක් ජනාධිපති සමාව ‘පනින රිළවුන්ට ඉණිමං බැඳීමක්’
ජනාධිපති සමාව ලැබූ සිරකරු ලිපිගොනු සියල්ල රහස් පොලිස් භාරයට ගනී
බන්ධනාගාර දෙපාර්තමේන්තුව දූෂණයෙන්, වංචාවෙන් හා තවත් විවිධ අපරාධවලින් ග්‍රහණ වූ ගුප්ත වනාන්තරයක් බඳුය. සීතල ගල්වලින් වටවූ බිත්ති ඇතුළේ සිරගෙවල් තුළ සිදුවන්නේ මොනවා දැයි බාහිර ලෝකයට නොපෙනේ. ලෝකය ඒ පිළිබඳ හාංකවිසියක් නොදනී. ජීවිතය හා රැකියාවද බේරා ගනිමින් සොරමුළක් සමග මෙම බිත්ති ඇතුළේ ජීවත් වන්නට බන්ධනාගාර සේවයේ යෙදෙන ඉතා ගුණගරුක හා නීතිගරුක, යහපත් නිලධාරීන් අතළොස්සට සිදුවී තිබේ. ඔවුන් අත්විඳින හිරිහැර හා ගැහැට එමටය. බන්ධනාගාර තුළ සිදුවන නොපනත්කම් ඔවුන්ට කියන්නට කිසි කෙනෙක් නැත. ලොක්කෝ සිටියත් ඔවුන් ද අමුම අමු සොරුන්ය. ඇත්ත කතා කරන්නට ගොස් විවිධ චෝදනාවන්ට ලක්වී දඬුවම් මාරු ලැබ උතුරට හා නැඟෙනහිරට විසිවී ගිය නිලධාරීන් බොහෝය. වෙඩි පහරවලට ලක්වූ නිලධාරීන්ද වෙති. උසස් බන්ධනාගාර නිලධාරීන්ගේ ආශිර්වාදය හා අනුශාසනා මධ්‍යයේ ඒතුළ සිදුවන ගුප්ත හා රහසිගත ජාවාරම් පමණක් නොව, නිලධාරීන්ගේ ‘ෆුල් සපෝට්’ එකෙන් සිරමැදිරි රජමැදිරි සේ පවත්වා ගෙන යන පාතාල ලෝකයේ කෙරුමන්ගේ විස්තර ඇතුළත් ලිපි රාශියක් මගේ පුවත්පත් ජීවිතය තුළ ලියා පළකර ඇත. එහෙත් ඒ සියල්ල පසුගිය වෙසක් දිනය දක්වා බීරි අලීන් හමුවේ වාදනය කළ වීනා වාදනවලට නොදෙවැනි විය. ‘හොරාගේ අම්මාගෙන්’ මෙතෙක් කල් අපි පේන බැලුවෙමු. අප විදින්න බැලුවේ සාවුන්ටය. එහෙත් හැම වෙලාවකවකම අපගේ ඉලක්කය වැරැදී ගියේය. පහර වැදුනේ පඳුරකටමය. සාවුන් නිරුපද්‍රිව පැන ගියේ ජනමාධ්‍යයට ‘කීචොක්’ කරමින්ය.
එහෙත් මෙවර බන්ධනාගාර ලොක්කෝ ‘ඉල්ලා ගෙන කෑවෝ’ය. කිසි ලෙසකින්වත් මෙවැනි මරාලයක් සිය හිස මතට ඇද වැටෙතැයි ඔවුන් නොසිතූහ. සුපුරුදු පරිදි මෙවර වෙසඟ නිමිත්තෙන් ද ජනාධිපති සමාව හිමිවිය යුතු, දඩ මුදල් ගෙවාගත නොහැකි, සුළු වැරැදි පමණක් සිදුකොට සිර දඬුවම් විඳින සිරකරුවන්ගේ නාම ලේඛනය අනුමැතිය සඳහා එවන ලෙසට අධිකරණ අමාත්‍යාංශයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ලිඛිතව දන්වා තිබුණි. එම ලිපියෙහි තැනක විශේෂ වැකියක් සඳහන් විය. එම වැකිය බන්ධනාගාර ඉතිහාසයේ එතෙක් මෙතෙක් එබඳු ලියුමක සඳහන් වී නැතැයි උසස් බන්ධනාගාර නිලධාරීන්ගේ අදහසයි. එහි සඳහන් වූයේ “ජනාධිපති අනුමැතිය සඳහා එවන සිරකරු නාම ලේඛනයට පිටින් කිසිදු සිරකරුවකු නිදහස් කර යැවිය නොහැකි’ බවයි.
මෙතෙක් කලක් ජනාධිපති සමාව යටතේ සිදුවී ඇත්තේ ‘පනින රිළවුන්ට ඉණිමං බැඳීමක්’ වැනි රාජකාරියකි. ජනාධිපති සමාව සඳහා සුදුසුකම් ඇති සිරකරුවන්ගේ නාම ලේඛනයක් ගෙන්වා ගන්නා ජනාධිපති ලේකම් කාර්යාලය ඊට ජනාධිපතිගේ අත්සන දමා බන්ධනාගාරයට යළි ‘තල්ලුකර’ යවයි. එතැනින් පස්සේ එම නාම ලේඛනයට සිදුවන්නේ කුමක් දැයි යන්න සොයා බැලීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ හෝ අධිකරණ අමාත්‍යාංශයේ එකදු නිලධාරියකුට හෝ අවශ්‍ය නොකෙරේ. නිදහස ලබන සිරකරුවන්ගේ ඡායාරූප සමග ‘පොල් හෙඩිමක්’ ජනාධිපතිවරයා ‘නග්ගවමින්’ පසුදින පුවත්පත්වල පළකර තිබීම පමණක් සෑහේ. එයින් හිටපු ජනාධිපතිවරුන්ද සතුටු වන්නට ඇත.
අවුරුද්දකට ජනාධිපති සමා 04කි. නත්තල, නිදහස් දිනය, වෙසඟ සහ සැප්තැම්බර් 12 වැනිදාට යෙදෙන සිරකරු දිනය ජනාධිපති සමාව හිමිවන දින හතරයි. එම දින හතරේදී ජනාධිපතිවරයා අනුමත කළ සමාව හිමිවන සිරකරුවන්නේ නාම ලේඛනයට පිටින් තවත් නාම ලේඛනයක් ද සැකසේ. ඒ ඇතැම් ඉහළම බන්ධනාගාර නිලධාරීන්ගේ අනුදැනුම ඇතිවය. බොහෝම රහසින්ය. ඒ මෙම ජාවාරමේ අරම්භයයි. අවුරුදු ගණන් බරපතළ සිරදඬුවම් විඳින සිරකරුවන්, දේශපාලනඥයන්ගේ නෑදෑ හිතවතුන්, මිත්‍රයන්, ව්‍යාපාරිකයන්ගේ සහචරයන්, අපරාධ ලෝකයට සම්බන්ධ පුද්ගලයන්, ස්ත්‍රි දූෂණ, අල්ලස්, මූල්‍ය වංචා වැනි වැරැදි සිදුකොට බරපතළ සිර දඬුවමට ලක්වී සිටින්නන්ගෙන් කීපදෙනෙක් හෝ මෙම ලේඛනවලට ඇතුළත් වී සිටින්නට බැරි නැත. එවැනි තොරතුරු රැසක් අප සතුව ඇත. කෙසේ වෙතත් රහස් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන මෙම අවස්ථාවේ තව තවත් අපූරු තොරතුරු ඉදිරියේදී අනාවරණය වනු නිසැකය. විශේෂයෙන් රහස් පොලිසිය ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම් සෙවීමේ පරීක්ෂණ මේ වනවිටත් අරඹා තිබේ.
මේ අන්දමට ‘අතයටින්’ නිදහස ලැබ සිරකරුවන්ට ගෙදර යන්නට ලැබෙන්නේ නිලධාරීන්ගේ ගතමනාව නිසි පරිදි බැංකුගත කිරීමෙන් ඉක්බිතිය. අවුරුදු ගණන් බරපතළ වැඩ ඇතිව සිර දඬුවමට නියම වී සිටින පුද්ගලයන්ට ‘සමාව’ යනු ‘උණු ළිං හතෙන් දිය නෑමක්’ වැනි සනීපදායක, සුවදායක හා ජීවිතයේ අසන්නට ලැබන මිහිරිතම වචනයයි. ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක්, 20ක්, 30 හෝ 50ක් (වරදේ ස්වාභාවය හා දඬුවමේ හැටියට) නොව, රුපියල් කෝටි ගණනක් වුවත් ගෙවීමේ හැකියාව එබඳු පුද්ගලයන් සතුය. හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය වරදක් සඳහා හෝ අල්ලස් වැනි වරදකට ජීවිතාන්තය දක්වා සිර දඬුවමට ලක්වී සිටින්නෙක්ට රුපියල් කෝටියක් යනු මහ මුදලක් නොවේ.
කෙසේ වෙතත් කොට්ටෝරුවා මෙවර කෙටුවේ කෙසෙල් ගසකටය. උගේ හොට පැටලුණේය.
මෙවරද ජනාධිපති ලේකම් කාර්යාලය, අධිකරණ අමාත්‍යාංශය හරහා බන්ධනාගාරයේ කොමසාරිස් ජෙනරාල්වරයාට යොමු කරන ලද ලිපිය කෙරෙහි එතරම් සැලකිල්ලක් දැක්වන්නට අවශ්‍ය නැතැයි මෙම තක්කඩි ක්‍රියාවට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන් කල්පනා කළා විය හැක. අධිකරණ අමාත්‍යාංශය ද මෙතෙක් කලක් මුනිවත රකිමින් රුකුල් දීම මෙවරද ආශිර්වාදයක්ම ගෙන එනු ඇතැයි බන්ධනාගාර නිලධාරීන්ට සිතෙන්නට ඇත. ඒ අනුව ඉකුත් වෙසක්දා දිවයිනේ බන්ධනාගාර 28න් ජනාධිපති සමාව ලැබූ සිරකරුවන් නිදහස් වී පිටතට එන අතරේ ඔවුන් සමග ජනාධිපති සමාව හිමි නොවූ සිරකරුවන්ද මිශ්‍රවී සිටින්නට ඇත.
බෝම්බය පුපුරා ගියේ කිසිවකු හෝ සිහිනෙකින්වත් නොසිතූ, නොපැතූ විලසිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් කරමින් පැවසුවේ ඉකුත් වෙසක්දා ජනාධිපති සමාව හිමි නොවූ සිරකරුවකුද මුදා හැරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ක්‍රියාකර ඇති බවයි. මෙම සිරකරුවා මූල්‍ය අපරාධ රැසක් සම්බන්ධයෙන් බරපතළ වැඩ ඇතිව සිරගෙට නියම කර සිටි අයකු බවද මන්ත්‍රීවරයා පැවසුවේය.
එම අපරාධය සම්බන්ධයෙන් මේ වනවිට බන්ධනාගාර අධ්‍යක්ෂ ජෙනරාල් තුෂාර උපුල්දෙණිය සහ අනුරාධපුර සහකාර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න යන දෙදෙනා පසුවන්නේ රිමාන්ඩ් සිරකරුවන් විලසිනි. එය නම් දෛවෝපගත ඛේදවාදකයකි. බන්ධනාගාරයේ ප්‍රධානියා වන කොමසාරිස් ජෙනරාල් නිල ඇඳුමේ සිටිය දීම රිමාන්ඩ් සිරකරුවකු වීම එක් අතකින් ආශ්චර්යයකි. කෙසේ වෙතත් අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයාගේ අනාවරණය නොවන්නට මෙම ජාවාරම අදටත් රහසක් සේ වැළලී තිබෙනු ඇත.
මීට වසර හතරකට පමණ පෙර කොළඹ අධිකරණයකින් පුද්ගලයකුට බරපතළ වැඩ ඇතිව 15 වසරකට වඩා වැඩි බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණ. ඔහුගේ වරදේ ස්වාභාවය වූයේ මූල්‍ය වංචාය. එක නඩුවක් නොව, විසඳීමට නියමිත තවත් මූල්‍ය වංචා නඩු ගණනාවක ඔහු සැකකරුවෙක් වී සිටියේය. දඬුවම නියම කිරීමෙන් පසු සිරකරුවා බස්රියෙන් වැලිකඩ සිරගෙදර දක්වා කැටුව ගිය නිලධාරීන් අතරේ නියාමකවරයකු ද වූයේය. අතරමඟදී මෙම සිරකරුවා නියාමකවරයාගේ ජංගම දුරකතන ඉල්ලුවේය. ඒ ගෙදරට පණිවිඩයක් දීමට යැයි හඟවමින්ය. නමුත් නිලධාරියා ජංගම දුරකතනය ඔහුට නුදුන්නේය. මෙම සිද්ධිය නියාමකවරයාගේ මතකයේ හොඳින් තැන්පත් වී තිබිණ. මාස කීපයකට පසු මෙම නියාමකවරයාට රාජකාරි ස්ථාන මාරුවක් ලැබිණ. හෙතෙම වාරියපොළ බන්ධනාගාරය වෙත මාරු වී ගියේය.
වසරකට පමණ පසු නියාමකවරයා එළවළු හා මාළු මිලදී ගැනීමට වාරියපොළ නගරයට ආවේය. එළවළු වර්ග කීපයක් මිලදී ගැනීමෙන් ඉක්බිති හෙතෙම අලුතින්ම පටන් ගෙන තිබෙන මාළු වෙළෙඳසැල වෙත ආවේ ලාභයට මාළු වර්ගයක් මිලදී ගන්නටය. මාළු මුදලාලි දුටු කෙනෙහිම හෙතෙම හඳුනාගන්නට නියාමකවරයාට හැකිවිය. “උඹ කොහොමද ස්ටීවන් (අන්වර්ථ නාමයකි) මෙච්චර ඉක්මනට නිදහස් වුණේ. අවුරුදු පහළොවකටත් වැඩියිනේ උඹේ අච්චුව.” නියාමකවරයා මහත් පුදුමයෙන් ඇසුවේය.
“ජනාධිපති සමාව හම්බ වුණානේ සර්.” ස්ටීවන් පැවසුවේ ඇඟට පතට දැනෙන්නෙවත් නැති ගාණයටය.
නියාමකවරයා වහාම සිය ජංගම දුරකතනය ඔස්සේ වාරියපොළ පොලිසිය ඇමැතුවේය. පොලිස් කණ්ඩාමක් පැමිණ සැකකරුවා නැවතත් අත්අඩංගුවට ගත් අතර උසාවිය හමුවට පමුණුවා බන්ධනාගාරගත කෙරිණ.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානයෙන් පරීක්ෂණයක් ආරම්භ කෙරිණ. සිරකරුවන් ලියාපදිංචි කිරීමේ අංශය එවකට භාරව සිටි ජේලර්වරයාගේ අවශ්‍යතාව මත මෙම බරපතළ වැරැද්ද සිදුවී තිබෙන බව සොයා ගැනිණ. ඒ අනුව එම නිලධාරියාට දඬුවම් මාරුවීමක් ලබාදෙමින් වටරැක බන්ධනාගාරයට මාරුකර යවා වැටුප් වර්ධක 07ක් අහිමි කළේය. ඊට එරෙහිව මෙම නිලධාරියා රාජ්‍ය සේවා කොමිසන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කළේය. එයින් ඔහු ජය ගත්තේය. හෙතෙම සම්පූර්ණයෙන් නිදොස් වී නිදහස ලබාගත්තේ අහිමි වූ තවත් වරප්‍රසාදවලටද හිමිකම් කියමිනි. පසුව මෙම නිලධාරියා වෙනත් බන්ධනාගාරයක් වෙත මාරුකර යවන ලද්දේ උසස් වීමක්ද ප්‍රධානය කරමිනි.
රාජ්‍ය සේවයේ ඇතැම් ආයතන ගමන් කරමින් තිබෙන්නේ අපරාධ ඇතිරූ අධිවේගි මාර්ගයකය. එම මාර්ගය ක්‍රමාණුකූලව පිරිසිඳු කිරීමේ අවශ්‍යතාව සමාජය තුළ දැඩිව පැන නැඟී තිබේ. අත්වැල් පටලාගත් රාජ්‍ය සේවයේ අපරාධ යාන්ත්‍රණය අඩපණ කොට මුලිනුපුටා දැමීම රජයට දැවැන්ත අභියෝගයකි.
අනුර හොරේෂස්
(තව කොටසක් ලබන සතියේ)