ජයශ්‍රී මහබෝධිය ආරක්‍ෂක දෙවියන් ලෙස සැලකෙන කළුදේවතා බණ්ඩාර දෙවියන් වරුණ දෙවියන් ලෙස ද සැලකේ. ශ්‍රී මහ බෝසමිඳුන්ගේ අංකුර බෝධියක් සිරිලක යම් තැනෙක රෝපණය වෙත්ද කළුදේවතා බණ්ඩාර දෙවියන්ට එය ආරක්‍ෂා කිරීමේ කාර්ය පැවරේ. ඒ බව කළුදේවතා බණ්ඩාර දෙවියන්ට ගැයෙන කෝල්මුර කවි ගායනාවල මෙසේ දැක්වේ.
මාර සෙනග බිඳ බුදුවුණු මුනි පිටදුන් බෝතුමන් ඩ
බාර වුණේ මුගුරු දුනුද ගිනි අවි ගෙන මුර කරන් ඩ
ගෝර යකුන් බිඳ දුරුකර සිරිලක සැමතැන රකින් ඩ
දීර බලැති කළුදෙවතා දෙවි සුබ පේනට වඩින් ඩ
(දේව පුරාණය 189 පිටුව)
කළුදේවතා බණ්ඩාර දෙවියන් සඳහා ගැයෙන කෝල්මුර ගායනාවලට අනුව මෙම දෙවියන් පූර්ණක නම් යක්‍ෂ සේනාධිපතියාට දාව එරන්දතී නම් නාග කන්‍යාවගේ කුස උපන් අයෙකි. එරන් දැතී නාග කන්‍යාවගේ කුස උපන් මෙම කුමරු සිය පිය රජුගේ උදහසට ලක්ව සැහැසි කුමරෙක් බවට පත්වේ.
මෙලකට සිරිමා බෝ සමිඳු වැඩමවීම සිදු වන්නේ අශෝක අධිරාජයාගේ දහ අටවෙනි රාජ්‍ය වර්ෂයේදී හෙවත් එවක මෙලක රජ පැමිණි දෙවන පෑතිස්ස රජුගේ දෙවන රාජ්‍ය වර්ෂයේ දී බව පෙනේ. සිරිමා බෝධිය මෙලකට වැඩමවූ මහා මංගල්‍ය පෙරහැරේ ගමන් ගත් අයෙකු ලෙස කළුදේවතා සැලකෙන අතර මෙතෙමේ දෙවනපෑතිස් රජුගේ මහත් ප්‍රසාදයට ලක්වූ අයෙක්ද වේ.
සිරිමා බෝසමිඳු වැඩමවන උත්සවයට සිරිලක නන්දෙසින් ජනයන් පැමිණි බවට සඳහන් වීමෙන් එවක සිරිලක පුරා ජනාවාස වී තිබුණ බව පැහැදිලි වේ. සිරිමා බෝසමිඳුන් කෙරෙහි අචල භක්තියෙන් යුතුව පෙරහැරේ ගමන් ගත් කළු බණ්ඩාර නම් මෙම තරුණයා කෙරෙහි දේවානම් පියතිස්ස රජු පැහැදී අනුරපුර ශ්‍රී මහබෝධි රෝපණයෙන් පසු බෝමළුව මුර කිරීමේ වගකීම මොහුට පැවරුන බව පැවසේ.
බුදු දහම වැළඳ ගැනීමෙන් පසුව දෙවනපෑතිස් රජතුමා සක්විති රජ සිරිත් අනුගමනය කරමින් සිරිලක පුරා ධර්ම විජය ප්‍රතිපත්තිය අනුගමනය කළ නරවරයෙකු බව බෞද්ධ සංස්කෘතියේ කියවේ. අශෝක අධිරාජයා එදා බෝධි අංකුර බෙදාහැරි මෙහොතේ තම මිතුරෙකුව සිටි දේවානම්පියතිස්ස රජතුමා වෙතට එවන ලද බෝධි අංකුරය පිළිගැනීම සඳහා දඹකොළපටුනට පෙරහරින් ගොස් බෝධි අංකුරය පිළිගත් බවත් එම බෝධි රෝපණය කිරීමේ උත්සවයට නිවන්ත නම් ග්‍රාමයේ විසූ නිවන්ත බ්‍රාහ්මණයාද කතරගමින් සහ චන්දන ගමින් ක්ෂ්ත්‍රීයයෝ ද විවිධ පළාත්වලින් ප්‍රාදේශීය අධිපතීන්ද සහභාගීවූ බව පැවසේ. මෙම රාජකීයයන් අතර කළු බණ්ඩා තරුණයා ද විය.
දේවානම්පියතිස්ස රජතුමා බෞද්ධ උපාසකයෙකු වී නොබෝ දිනකින්ම සිය ඥාතීන් සසුන්ගත කළ බවත් ඒ අතර රජුගේ සෙහොයුරු වූ මිත්තාභයද බෑණනු වූ අරිට්ට සහ ඔහුගේ සොහොයුරන් පණස් දෙනෙකු ද අනුලා බිසව ද සසුන් ගතවූ පිරිස් අතරවේ. මේ අයුරින් සසුන ආරක්‍ෂා කිරීමේ වගකීම රජ පවුලට පැවරුන බව පෙනේ.
අනුරපුර රාජධානි සමය වනවිට රාජ්‍ය සේවය නිමවන්නේ හිරුබැස යෑමෙන් පසුව බවත් බෝධි රෝපණයෙන් පසුව බෝධි වන්දනාව කළ හැකි වෙලාව වූයේ ඉර බැස යනතෙක් පමණක් බවද හිරු බස යෑමෙන් පසුව බෝ කොටුව වැසෙන බවද පැවසේ.
අචල භක්තියෙන් යුතුව බෝ කොටුවට රැකවරණය සැලසීමේ නිරතව සිටි කළු බණ්ඩා දිවිහිමියෙන් තමාට පැවරුන රාජකාරිය ඉටුකළ බව සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මුද්‍රිත නුවර කලාවියේ දෙව්දේවතා ග්‍රන්ථයේ පළකොට ඇති පහත සඳහන් පුවතින් මනාව පැහැදිලි වේ.
“ දිනක් බෝ කොටුවේ දොර වැසුනාට පසු බෝ පුදට පැමිණි තෙදවත් පුරුෂයෙකි. ඒ දෙවන පෑතිස් රජතුමාය. ‘දරුව දොර හරුව’ රජු මුවින් නික්මිනි. දොර නොහරිමි රැකියාව හරිමි. කළු බණ්ඩාගේ පිළිතුර විය. රජු මදක් සිතුවිල්ලට වැටුණේය. රජු මුවින් මෙවදන් නික්මිනි. ‘දරුවා ඔබ හරි රජුගේ අණ රජුට ද විය යුතුය. මම ඔබගේ තනතුර තව ද උසස් කරමි.”
තම ස්වාමියා ඉදිරියේ දණින් නොවැටී කළු බණ්ඩා තම සේවය අකුරටම ඉටුකළ බවත් බෝ සමිඳු කෙරෙහි ඔහු තුළ වූ අචල ශ්‍රද්ධාවත් ඉන් පැහැදිලිවේ. කළු බණ්ඩා තම විසිහය වැනි වියේ සිට අසූ එක්වෙනි විය දක්වා නොකඩවා වසර 61 ක් පුරා සිරිමාබෝ සමිඳුන්ට රැකවරණය දුන් බව පැවසේ. දෙවනපෑතිස් රජුගේ අභාවයෙන් පසුද තම සේවාවෙහි නිරතව සිටි කළු බණ්ඩා මරණින් පසු කළුදේවතා බණ්ඩාර නමින් දේවත්වයට පත්වුණ බව පැවසේ. කළු බණ්ඩාර දෙවි විෂ්ණු දෙවියන් බව ඇතැම්හු පවසති. මේ දෙවියන් සඳහා ශ්‍රීමහබෝධි මළුවේ බටහිර වාහල්කඩ දේවාලය ලෙස යොදා ගනිමින් බාරහාර ඔප්පු සිද්ධ කරන බව දේව පුරාණයේ සඳහන්වේ. (192 පිටුව)
කළුදේවතා බණ්ඩාර දෙවි මෙලකට පැමිණි දේශීය නොවන දෙවිකෙනෙකු ලෙස ද සැලකේ.
බරක් රැගෙන ශ්‍රී මහ බෝ රන්කඳ දැක වැඩ සිටලා
නිරන්තරේ මුරකරන්ට මෙසිරිලකට ගොඩ බැසලා
අරන් සුරත කොසඹ ලීය බුද්ධි මුරේ යට ගහලා
නරන් රකින කළු දෙවතා සාමි වරෙන් නුගූණ වෙලා
කළුදේවතා බණ්ඩාර සිය පිය රජුන් වන පූර්ණක යක්‍ෂ සේනාධිපතිගේ උදහසට ලක්ව හිමයට පැන යෑමෙන් පසු අයියනායක දෙවියන් සහ පත්තිනි දෙවියන් රැකවරණය සැලසූ බවත් එම දෙවිවරුන්ගේ අනුග්‍රහයෙන් සිරිමහ බෝසමිඳු ආරක්‍ෂා කිරීමට බාර වුණ බවත් පැවසේ. මෙසේ මෙලකට පැමිණි කළු බණ්ඩාර භාෂා දහ අටක් දත් අයෙකු ලෙස ද සැලකේ. එය කළු දේවතා කෝල්මුර කවි ගායනාවල මෙසේ දැක්වේ.
ඊස් ක්‍රන්ති කසිවිරයුන් කිරිස්නාඩි හරු දේසේ
ඊස් ක්‍රන්ති නාගර කර කල්ලු සගුන් කුර්ත බාසේ
ඡන්දස් එළු පාලි රැගෙන යක්ස දේව සැම බාසේ
ඊස් ක්‍රන්ති කළු දෙවතා කියතිය දහ අට බාසේ
මෙම දෙවියන් විශේෂයෙන් කතරගම කිරි වෙහෙර සමීපයෙහිවූ සිරිමා බෝසමිඳු ශාඛාව සහ අංකුර බෝධින් වහන්සේලා යම් තැනෙක් වෙද එම බෝධින් වහන්සේලාට රැකවරණය සලසන බවද ජනවහරේ පවතී.

ජනශ්‍රැති පර්යේෂක කලාභූෂණ ‘විශ්වාභිනන්දන’
සියනෑ ගෞරවකීර්ති සියනෑ
ගෞරව අභිනන්දන’ සාමවිනිසුරු
සරණපාල නුවරපක්‍ෂ