බංග්ලාදේශයට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සියලු දෙනා දැවී ලකුණු 485ක් ලබා බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 10ක් පසුපසින් ශ්‍රී ලංකා ඉනිම අවසන් කෙරිණ.
තරගයේ සිව්වන දිනට අද (20දා) උදෑසන තරගය ආරම්භකරන විට ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 368ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටි නමුත් ඉනිමට තවත් ලකුණු 117ක් පමණක් එක්වද්දී ඉතිරිව තිබූ කඩුලු 6 දවාගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.
එහිදී බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නයීම් හසන් ලකුණු 121කට කඩුලු 5ක් දවාගත්තේය.
ශ්‍රී ලංකා මැදපෙළ ඔසවා තැබූ කමිඳු මෙන්ඩිස් ලකුණු 87ක් රැස්කළ අතර මිලාන් රත්නායක පන්දු 83කට මුහුණදෙමින් ලකුණු 39ක් රැස්කිරීමටද සමත් විය.